මරණයෙන් කෙළවර වන ජීවිතය සැමවිටම සමානය . කිසිවෙකුටත් මෙය නතර කල නොහැක. වෙනස් කල නොහැක. තේරුම් ගැනීමට ද නොහැක. ඉරණම වෙනස් කල නොහී අප සිත් කෝපයෙන් වෙළෙයි.
අප කුමක් කලත් අවසානයේ මිය යනු ඇත. කුමන ආගමක් ඇදහුවත් , සිතුම් පැතුම් කුමක් වුවත්, කුමන උත්සාහයක් දැරුවත් අවසානයේ මිය යනු ඇත. කිසිවක් නොදැන අප හෙට දිනයේ මිය යන්නේ දන්නා සියලු දේ කෙරෙහි කළකිරීමෙනි . ජීවන චක්‍රය දුකකි. මිනිසාට එදිනෙද කරන නීරස ක්‍රියා වලින් මිදිය නොහැක. ඔහු ආබාධිත අසරණයෙක් මෙනි.
උදැසන පිබිද , එහා මෙහා ගොස් , කවුළුව ලඟට වී අසල් වැසියන් දෙස බලා සිටින්න. පියා , මව , දරුවන් සතර දෙනා , ඔවුහු දිවා ආහාරය ගනිති. ඊයේ දිවා ආහාරය ගත ලෙසම හෙට ද දිවා ආහාරය ගනිති. පෙර දින ආච්චී ද සිටියාය. අද ඇය එතන නැත! පියා ඉතා සතුටින් සිටියි. පිස්සෙක්!
ඔවුහු විවාහයක් ගැන කතා කරති . මරණයක් ගැන කතා කරති. කුකුල් මස් හොද්දේ සැර ගැන කතා කරති. ගෙදර වැඩකාර ගෑණිගේ හොරකම් ගැන කතා කරති. දහසකුත් නොවැදගත් දේ ගැන තැවෙති , ලත වෙති. මෝඩ යක්කු !
අවුරුදු 18ක් පුරාවට ඔවුන් ජීවත් වන මේ නිවාස දකින විට මහත් අප්පිරියාවක් හා කේන්තියක් දැනෙයි. මේ තමා ජීවිතය!
බිත්ති හතරයි, දොර දෙකයි, ජනේලයයි , ඇදයි , පුටුවයි, , මේසයයි .
හිර ගෙයක්, මේක හිර ගෙයක්! එකම නිවසක අවුරුදු ගණනාවක් සිටියහොත් එය හිර ගෙයක් වනු නියතයි.
පලා යන්න . හැර දමා යන්න. දන්නා පළාත් , සුපුරුදු මිනිසුන් , නීරස ක්‍රියාවන්, එකම සිතුවිලි . මේ සියලු දෙයින්ගැලවී යන්න.
උදේ සිට රෑ වන තෙක් හැඬීමෙන් විඩා වූ විටෙක , නැගිට ගොස් වතුර වීදුරුවක් වත් බීමට තරම් කම්මැලි වූ විටෙක ,
නිතරම දකින මිතුරන්, කේලාම් සොයන අසල් වැසියන් දැකීමෙන් විඩා වූ විටෙක ,
නිතර යන එන පාර , ජීවත්වන නිවස , "රෑ කෑමට මොනවද ඕනෑ" වැරහැලි හැඳ ගත් බිරිය අසනා විටෙක , සුවච කීකරු බලු සුරතලා දකින විට , බත් හා හොඳි එකම වෙලාවට ගන්නා ආහාරවේල් දකින විට , සෑම දිනකම නිදා ගන්නා ඇඳ දැකීමෙන් විඩා වූ විටෙක,
කණ්ණාඩියෙන් මුහුණ බල විටෙක, මේකප් දමන විටෙක, ඔබට ඔබවම , ඔබේ කටහඬම විඩාවක් වූ විටෙක,
චක්‍රයක් වූ එකම සිතුවිලි පෙරලි පෙරලී මතුවන විටෙක , නීරස ජීවිතය ඔබ ගිල ගෙන විඩාවට පත්කල විටෙක,
මේ සියලු දේ හැර දමා පලා ගොස් නව ජීවිතයක් අරඹන්න...
Translated by Jahooli Devi
Extract from the short story "Au soliel" , De Tunis à Kairouan , Edition Complexe, Guy de Maupaasant, pg 3-5.
No comments:
Post a Comment