Showing posts with label pride. Show all posts
Showing posts with label pride. Show all posts

Tuesday, September 22, 2015

පෙම් කුරුල්ලෝ The Sweethearts by Hans Christian Andersen




බඹරයකුයි   බෝලයකුයි අනිත්  සෙල්ලම් බඩු  එක්ක  එකම පෙට්ටගමේ ජීවත් වුණා. දවසක් බඹරය බෝලයට මෙහෙම කිව්වා.

" අපි දෙන්න මේ පෙට්ටගමේ එකටනේ ඉන්නේ , ඉතින් ඇයි  අපි දෙන්න  යාළු වෙන්නේ නැත්තේ ?

තමන් හරි උසස් යැයි නිතරම හිතන ආඩම්බර නෝනා කෙනෙක් වගේ හිටපු මොරොක්කෝ රටේ පදම් කරපු හම් වලින් හදපු  බෝලය  මේ යෝජනාව තුට්ටුවකටත්  ගණන් ගත්තේ නැහැ.

පහුවෙනිදා මේ සෙල්ලම් බඩු වල අයිතිකාර පොඩි ළමයා ඇවිල්ලා  බඹරය රතු පාටිනුයි කහ පාටිනුයි පාට කරලා  මැද්දට පිත්තල ඇණයක් හයි කළා.  බඹරය කරකවද්දී දැන් හරි ලස්සනයි.

" මේ බලන්නකෝ මෙයා!  දැන් කොහොමද මං ?  අපි දෙන්නා නියමෙටම ගැලපෙනවා . අපි ලව් කරමුද ?  ඔය උඩ පනින්න මන් නටන්නම් . අපි දෙන්න තරම සතුටින් ඉන්න දෙන්නෙක්  මේ ලෝකෙම නැතිව ඇති " බඹරය බෝලයට කිව්වා.

" ආ එහෙමද ඔයා  හිතන් ඉන්නේ ? බෝලේ කිව්වා. " අපේ අම්මයි තාත්තයි මොරොක්කෝ ලෙදර් සෙරප්පු , මගේ ඇඟ මැද්දේ රබර් කෑල්ලකුත් තියෙනවා , ඔයාට මේවා තේරෙන්නේ නැති පාටයි. "

"ඔව් මට තේරෙනවා. ඒවුනාට මාව හදලා තියෙන්නේ මැහෝගනී වලින්!   බඹරය කිව්වා. විනිසුරු තුමා මාව හැදුවේ එයාගෙම ලියන පට්ටලේ දී . එයා හරි ආශාවෙන් තමා මාව හැදුවේ."

" මන් මේවා ඇත්තටම විශ්වාස කරන්න ඕනේ ද ?   බෝලේ කිව්වා.

" මන් බොරු කියනවානම්  ආපහු  කවදාවත් මට කැරකෙන්න බැරිවෙන්න ඕනේ" බඹරේ දිව්රලා කිව්වා. 

" ඔයා හොඳට කතා කරන්න නම් දන්නවා වගේ  . ඒ වූනාට මට බැහැ ඔයාට ලව් කරන්න. මම මුහුදු ලිහිණියෙක් එක්ක විවාහ ගිවිස ගන්න තරමට සුදුසුයි. 
මම උඩ යන හැම වෙලේම එයා  කූඩුවෙන් ඔලුව එලියට දාල අහනවා 
"කැමතිද ?" කියල.   මම හිතින් ඔව් කියලා කියල තියෙන නිසා විවාහ ගිවිස ගත්ත වගේ තමයි .  ඒත් මන් පොරොන්දු වෙනව ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ කියල. " බෝලේ කිව්වා. 

" ආ, ලොකු උදව්වක්! "     බඹරේ කිව්වා.

ඊට පස්සේ ඒගොල්ලන් තවත් කතා කලේ නැහැ.


පහුවෙනිදා බෝලේ සෙල්ලම් කරන්න එලියට  ගෙනිච්චා.  බෝලේ කුරුල්ලෙක් වගේ දුර ඈත ආකාසේ උඩින් ගිහින් නොපෙනී යනවා  බඹරේ බලන් හිටියා. පොළොවට වැටෙන හැම වෙලේකම තවත් වේගෙන් බෝලේ උඩ  ගියා . එහෙම උනේ එයාගේ ඇඟ ඇතුළේ රබර් කෑල්ලක් තිබ්බ හින්දා.   නව වෙනි පාර බෝලේ අතුරුදහන් උණා. ආපහු ආවේ නැහැ. පොඩි ළමය හැමතැනම හෙව්වත් හම්බ උනේ නැහැ.




" මන් දන්නවා එයා කොහෙද ඉන්නේ කියල ,එයා මුහුදු ලිහිණියාව කසාද බැඳලා එයාගේ  කූඩුවට වෙලා  ඇති " බඹරේ සුසුම් ලෑවා.   

බඹරේ මේ ගැන  හිතන  වාරයක් පාසා තව තවත් බෝලේ ගැන ආදරේ වැඩිවුණා. එහෙම උනේ කව දාවත් ඈව  ලබාගන්න බැරි වෙන නිසයි.  තව කෙනෙක් ඈව ලබාගෙන තියෙන නිසා මේ පිස්සුව තවත් වැඩි වුණා.

බඹරේ වෙනදා වගේ නැටුවත් කැරකුණත් බෝලේ ගැන නිතර හිතුව. එයාගේ හිතේ බෝලේ තව තවත් ලස්සනට  මැවිලා පෙනුණ. මේ විදිහට  අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ල මේක තවත් එක පරණ ආදරයක් බවට පත් වුනා.

බඹරේ තවදුරටත් තරුණයෙක් නෙමේ.

දවසක්  කට්ටිය  එයාව රත්තරන් පාටින්  පාට කලා. මෙයා සින්දු කියා කියා උඩ පැන පැන නැටුවා.

"මාත් දැන් ලොක්කෙක් ! "

බඹරේ එක පාරම පැන්න පාර උඩ වැඩිවෙලා ඈතට වීසි වෙලා ගිහින් නොපෙනී ගියා.

කටිටිය මෙයව හැමතැනම හෙව්වත් හම්බ උනේ නැහැ.

මෙයා   හිටියේ කොහේද ?

මෙයා  වැටිලා හිටියේ පල්ලෙහා ගඳ ගහන කුණු බක්කියට !  කුණු වෙච්ච එලවලු පලතුරු , ඉරුණු කඩ මලු පිරුණු අත ඇරලා දාපු ලට්ට ලොට්ට මැද්දට.

" මෙන්න ජීවත්වෙන්න  කියාපුම  තැන! " මගේ රත්තරන් ආලේපේ ඉක්මනට ගැලවිලා යයි! මේ මොන අපායක්ද ?  "

එයා අප්පිරියාවෙන් බාගෙට කුණු වෙච්ච ගෝවා ගෙඩියක් දිහාවේ බලද්දී  පරණ වෙච්ච ඇපල් ගෙඩියක් වගේ රවුම් දෙයක් දැක්ක. ඒ වුනාට එක ඇපල් ගෙඩියක් නෙමේ. අවුරුදු ගානක් වතුරේ පල් වෙවී තිබ්බ පරණ බෝලයක්.

" අනේ  දෙය්යනේ ලොකු උදව්වක් අන්තිමේ දී  මට ගැලපෙන කෙනෙක් හම්බ වුණා.  අඩුම ගානේ කතා කර කර ඉන්නවත්. " බෝලේ  දිලිසෙන බඹරේ   දිහා බලල  කිව්වා.

" ඇත්තටම මාව හදල තියෙන්න මොරොක්කෝ ලෙදර් වලින් , කැටයම් දාල දක්ෂ කෙනෙක් තමා  හදල තියෙන්න.  මගේ ඇතුලේ රබර් කෑල්ලකුත්  තියෙනව. බැලුවට කාටවත් පිටින් කියන්න බැහැ. මන් මුහුදු ලිහිණියව කසාද බඳින්න තමා  හිටියේ. එවුණා ට මාව මේ පල් වෙච්ච කුණු බක්කියට වැටුණා අවුරු පහකට විතර ඉස්සෙල්ල  . කොච්චර කාලයක්ද තරුණ ගෑනු ළමයෙකුට !"

බඹරේ වචනයක්වත් කිව්වේ නැහැ.  එයා හිත හිත හිටියේ පරණ ලව් එක ගැන. තව කතාව අහගෙන යනකොට එයට තේරුණා මේ  එයාගේ පරණ ආදරවන්තිය බව.

එක පාරටම කුස්සි අම්මා කුණු බක්කිය සුද්ද කරන්න ආව.

"මේ බලන්න කෝ රත්තරන් බඹරයක් ! "

කට්ටිය උත්සවශ්‍රීයෙන් බඹරය එයා හිටිය තැනට වඩම්මවාගෙන ආව.  බෝලේ ගැන වගක්වත් නැහැ. බඹරේ එයාගේ පරණ  ආදරේ ගැන වචනයක්වත් ආපහු කතා කලේ නැහැ.  අවුරුදු  ගානක් තිස්සේ කුණු බක්කියේ පල් වතුරේ තැම්බි තැම්බී හිටිය  ආදර වන්තිය එයාට  අමතක වෙලා ගියා.

ඇයි ?

කුණු බක්කියකදී හම්බ වුනොත් ඔය කට්ටියටත්  ඈව අඳුරගන්න බැරිවෙන හින්දයි.   



Translated by Jahooli Devi

Tuesday, August 4, 2015

මගේ පවුල ( My Family)


මගේ පවුල
කිසිවෙක් දෙවන මහා ලෝක යුද්ධය පිළිබඳ මතය මාගේ දෙමව්පියන්ගෙන් විමසුවහොත් ඔවුන් නොපැකිළිව පිළිතුරු දෙනු ඇත්තේ එය ඔවුන්ගේ ජීවිතයේ මුහුණදුන් අඳුරුම කාලපරිච්ඡේදයක් ලෙසටය. එයට හේතුව ඔෂ්විස් හා ඩ්‍රැන්සි ලෙස ප්‍රංශය පිල් දෙකකට බෙදීම  හෝ මිලියන හයක් වූ යුදෙව්සංහාරය හෝ මනුෂ්‍යත්වයට නිගරු කල කිසිදා සමාවව දිය නොහැකි සියලු අපරාධ නොව ඔවුන්ගේ ජීවිතයේ වටිනාම අංගය වූ ප්‍රංශය චාරිකාව දීර්ඝ අවුරුදු හතක් ඔවුනට අහිමි වී යාමය. මගේ පියා විශ්‍රාම ගිය රජයේ සේවකයෙක් නිසාත් මගේ මව රජයේ සේවයේ නිරත වී සිටි නිසාත් ඔවුනට සෑම අවුරුද්දකම දරු මල්ලන් සමඟ “ රාජධානියේ ” නිවාඩුවක් ගත කිරිමේ මහඟු අවස්ථාව හිමිවිය. ඔවුනට ප්‍රංශය කිසිවිටෙක යටත් විජිත පාලනයේ මූලස්ථානය නොවීය.සැබවින්ම එය ඔවුන්ගේ මාතෘ භූමිය වූ අතර ආලෝක පුරවරය වූ පැරීසිය ඔවුන්ගේ ජීවිතයට සැපයූ එකම දීප්තිය විය. ටෙම්පල්හි බිම්ගඩොල් හා සැන් පියෑර්හි වෙළඳපොළත් විශේෂයෙන්ම සැන් ෂැපෙල් හා වෙර්සායි යන ස්ථානවල විස්මිත වාර්තා වලින් මගේ මව අපේ හිස්ගෙඩි පිරෙව්වාය.මගේ පියා ප්‍රිය කලේ ලූව්‍ර කෞතුකාගාරයත් තරුණ කාලයේ ඇඟ හිරි ඇර ගැනීමට ගිය සිගාල් නෘත්‍ය ශාලාවත්ය. වර්ෂ 1946 දිනක හිමිදිරි අරුණලු වැටෙත්ම ඔවුහු තමන්ව නීත්‍යානුකූල ලෙස හදා ගත් දේශය වෙත නැවත රැගෙනයන මාවතේ ප්‍රථම නැවතුම්පොල වන හාවර් වරාය වෙත යාත්‍රා කිරීමට නියමිත බෝට්ටුවට ගොඩ වූයේ මහත් චිත්තප්‍රමෝදයකින්ය.

මම පවුලේ බාලයා වීමි.මගේ උපත සම්බන්ධයෙන් පවුලේ එක් මිත්‍යා අන්දරයක් විය.මගේ පිය ගාම්භීරව හැටතුන් වියේ පසු විය.මගේ මව හතලිස්තුන්වෙනි උපන්දිනය සැමරුවා පමණය. ඈ තවදුරටත් කිසිදු මාසික රුධිර සළකුණක් නොදකින විට එය ආර්තවහරණයේ ප්‍රථම පියවරයැයි සළකා සත්වරක් ඇගේ ප්‍රසූති කාර්යය කල නාරී වෛද්‍ය මෙලාස් මහතා හමුවීමට තීරණය කළාය.ඈව පිරික්සීමෙන් පසුව මතුවුයේ කොක් හඬලන සිනාවකි.
- මට මාර ලජ්ජාවක් දැනුණා, දරුවා බඩේ හිටිය මුල් මාස ටිකේ , මම හරියට තරුණ අම්මා කෙනෙක් වගේ බඩ හංගගන්න හැදුවා, මගේ මව ඇගේ මිතුරියන්ට විස්තර කිරීමට පුරුදුව සිටියාය.
ඇගේ “ක්‍රස් අ බොයො” හෙවත් පමාවී ඉපදුණ දරුවා ඇගේ මහළු වියේ කොඳු නාරටිය බවට පත්ව ඇතැයි කියමින් ඈ මට කොතරම් හාදු දෙමින් පැවසුවත් මෙම කතාව කණ වැකෙන සෑම මොහොතකම මගේ හදවත වේදනාවෙන් හැකිලී ගියේ මගේ පැමිණීම කිසිසේත්ම බලාපොරොත්තු නො වුවකි යි යන හැඟීමෙනි.

අද දිනයේ, යුද්ධයෙන් අඳුරුව ගිය පාළු පැරීසියේ ලතැන් ප්‍රදේශයේ එළිමහනේ වාඩි වී සිටි මා අයත් වූයේ එක් විනෝදය සපයන දුර්ලබ කණ්ඩායමකටය.අතීතයේදී නිලතලවලට කෑදර වූ මගේ පියාත්, නානාප්‍රකාර බටහිර ඉන්දීය-යුරෝපීය ආභරණවලින් සැරසුණු මගේ මවත්, ඔවුන්ගේ දරුවන් අට දෙනාත්, සීලවන්තව දෙනෙත් පහලට යොමු කරගෙන සිටි මගේ සොහොයුරියනුත්, ඒ වනවිටත් වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සහෝදරයෙක් ඇතුලුව යෞවනයේ පසුවූ මගේ සහෝදරයනුත්, වයසට වඩා මේරූ කල්පනා ඇති හුරතල් කිරීමෙන් හොඳටම නරක් වූ ළඳැරියක් වූ මා ද එහි වූහ. ඉණට සමබරව තබාගත් බන්දේසි අතැතිව ආපන ශාලාවේ තරුණ සේවකයෝ උද්යෝගයෙන් අප වටා කරකැවුණේ මී වදයට ඇදෙන මී මැස්සන් මෙනි.ඔවුන් මින්ට් තේ බඳුන් සංග්‍රහ කරමින් කදේ වැටීමට උත්සාහ කලහ.

"ඔය කට්ටිය කොච්චර හොඳට ප්‍රංශ කථාකරනවාද ! "

දෙබැම නොහකුළුවා සිනහවකින් තොරව මේ ගෞරව ප්‍රශංසාව භාරගත් මගේ දෙමව්පියෝ ආපන ශාලා හිමිකරුගේ ශීර්ෂ ප්‍රණාම ආචාර වලින් සෑහීමකට පත්වූහ. නමුත් සේවකයන් පිටුපා යත්ම ඔවුහු අප සාක්ෂි කරුවන් ලෙස ගෙන අවලාද නැඟූහ.

-ඒ වුනාට අපිත් උන්වගේම ප්‍රංශ කට්ටිය තමයි,මගේ පියා සුසුම් ලෑවේය.

- උන්ට වඩා ප්‍රංශ අපි, කෝපයෙන් ගුගුළමින් මගේ මව අගය වැඩි කළාය. ඇය පැහදිලි කිරීමට කරුණු එක්කළාය.
- අපි උන්ට වඩා උගත්. අපිට හොඳට හැසිරෙන්න දන්නවා. අපි හොඳට පොතපත කියවනවා.ඔතන ඉන්න සමහරු කවදාවත් පැරීසියෙන් එළියට අඩියක්වත් තියලා නැතිකොට අපි මොන්-සැන් මිෂෙල්,කෝත් දසූර්, කෝත් බාස්ක් වලටත් ගිහින් තියෙනවා.

මෙම වචන වල ගැබ්ව තිබූ යම් සානුකම්පිත බවක් ළමා වියේදීම මට නොරිසි විය. ඔවුන් පැමිණිලි කළේ මහත් අසාධාරණයක් සිදුවූ පරිද්දෙනි.අහේතුකව එකිනෙකාගේ භූමිකාවන් මාරුවුණි. කළු කබා හා සුදු ඒප්‍රණ හැඳි පාරිතෝෂික මුදල් එකතු කරන්නෝ ඔවුන්ගේ වත්පොහොසත් ගනුදෙණු කරුවන් පිටුපසට වී කටුකුටු ගෑහ. ඔවුනට උප්පත්තියෙන්ම ප්‍රංශ අනන්‍යතාව හිමිව තිබූ අතර ශිෂ්ට සම්පන්න සිටි මගේ දෙමව්පියන්ට එය ප්‍රතික්ෂේප විණි. මට තේරුම් ගත නොහැකි වූයේ තමන්ගේ රටේ වැදගත් ලෙස ජීවත් වන යමක් කමක් හිමි උඩඟු මගේ දෙමව්පියෝ හෝටල් සේවකයන් සමඟ පොර බදා ගන්නේ කුමන පරමාර්ථයක් සඳහා ද යන්නය.

එක් දිනක් මා මේ සියලු ප්‍රශ්න විසඳා ගැනීමට තීරණය කළෙමි.  අමාරුවේ වැටෙන සෑමවිටකම මම දිව ගියේ ඇමෙරිකානු වීමේ සිහිනයෙන් සොන්ද්‍රිනෝ ලෙසින් ඔහුම නම නැවත බෞතිස්ම කරගත් ඇලෙක්සෝන්ද්‍ර වෙතටය.පංතියේ පලවෙනියා වෙමින්ද කෙල්ලන්ගේ පෙම් හසුන් වලින් සාක්කු පුරවාගෙන ද සිටි සොන්ද්‍රිනෝ මගේ ජීවිතයේ ආලෝකය විය. මගේ ආදරණීය සහෝදරයා මට ආරක්ෂාව රැකවරණය නිරතුරුව සැපයීය.නමුත් මම ඔහුගේ සොහොයුරිය වීමෙන්ම පමණක් සැනසීමට පත්නොවූයෙමි. හැඩට වැඩට හැඳ පැලඳ ගත් යුවතියක් වට පිටාවේ සිටින විට හෝ පා පන්දු තරඟයක් ආරම්භ වීමට පෙර මා සියල්ල අමතකකර විමසුවේ ,ඔහුට අපේ දෙමව්පියන්ගේ හැසිරීම ගැන තේරෙනවා ද යන්නය. ඔවුන්ගේම වචනයෙන් පවසන ලෙස ඔවුන් සමඟ හරි හරියට පෑහිමට නොහැකි මිනිසුන්ට ඔවුන් මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයි?

අපි එකල පදිංචි වී සිට්යේ හත්වන දිස්ත්‍රික්කයේ නිස්කලංක වීදියක පිහිටා තිබූ තට්ටු නිවාසයක පහළ මාලයේ ය.එය අපව දුෂ්කරතාවයට පත් කරමින් නිවස තුලට හිරකර තැබූ ලා පොආන්ත් වල නිවස මෙන් නොවීය. දෙමව්පියෝ අපිට ඇති තරම් එළියට යාමටත් අනිත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමටත් අවසර දුන්හ.එකල මෙම නිදහස මා මවිත කරවීය.පසු කලෙක මට අවබෝධ වූයේ ප්‍රංශයේ සිටියදී අප දෙමව්පියන් අප ක්‍රෙයෝල්1 භාෂාව කතාකිරීමට පටන් ගනීයැයි හෝ ලා පොආන්ත් වල කාපිරි ගැටව් මෙන් බෙර වයන්නටත් කැමති වේ යැයි බියෙන් පසු නොවූහ. මට මතක පරිදි එදින අපි තඹ හිසකේ කොල්ලන් සමඟ අල්ලං සෙල්ලං කර වියළි පළතුරු වලින් යුත් තේ වේලක් බෙදා හදා ගත්තේ පැරීසියේ තවදුරටත් ආහාර හිඟයක් පැවතිය නිසාවෙනි. ඒ වන විට රාත්‍රි අහස් කුස නෙක තරු පිරි පෙනේරයක් බවට පරිවර්තනය කරමින් සිටියාය. මගේ එක් සහෝදරියක් ජනේලයෙන් ඔළුගෙඩිය එළියට දමා බෙරිහන් දීමට පෙර අප ගෙදර ඒමට සූදානම් වූයෙමු.

-ළමායි ,අම්මයි තාත්තයි එන්න කියනවා.

මගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සොන්ද්‍රිනෝ විශාල දොරටුවකට හේත්තු විණි. තවමත් ඉතිරිව ඇති ළමාවියේ පිරුණු කම්මුල් වලින් හා සතුටින් පිරී ගිය ඔහුගෙ මුහුණ ක්ෂණයෙන් අඳුරු වළාවින් පිරිණි.ඔහුගේ කට හඬ උස්විය.
-ඔයා ඒ ගැන වද වෙන්න එපා,ඒක අමතක කරලා දාන්න.,අම්මයි තාත්තයි පිටස්තර ජෝඩුවක්.

පිටස්තරයෝ ? එහි තේරුම කුමක්ද ? ප්‍රශ්න ඇසීමට මම එඩිතර නොවූයෙමි. සොන්ද්‍රිනෝ දෙමව්පියන් විහිළුවට ගත් ප්‍රථම අවස්ථාව එය නොවීය.මගේ මව එබොනි සඟරාවෙන් කපාගත් ඡායාරූපයක් ඔහුගේ ඇඳට ඉහලින් එල්ලා තිබුණි. එහි අපගේ පවුල මෙන් ළමයින් අට දෙනෙක්ගෙන් යුත් කළු ඇමෙරිකානු පවුලක් ගැන වර්ණනා කර තිබිණි. සියලු දෙනාම වෛද්‍යවරු, නීතිඥයෝ ,ඉංජිනේරුවෝ, ගෘහ නිර්මාණ ශිල්පීහු වූහ. කෙටියෙන්ම කිවහොත් ඔවුහු දෙමව්පියන්ගේ "වටිනා ආභරණ'  වූහ. මෙම ඡායාරූපය සොන්ද්‍රිනෝ දරුණු ලෙස විවේචනය කළ අතර ජීවිතය පටන් ගැනීමටත් පෙර එයින් සමුගන්නා බව නොදත් ඔහු දිනක සුප්‍රසිද්ධ ගත්කතුවරයකු වනු බව දිවුරා පොරොන්දු විය. ඔහු මට ඔහුගේ ප්‍රථම නවකතවේ පිටු සැඟවූයේය. නමුත් ඔහු මා ඉදිරියේ ඔහුගේ කාව්‍යය රචනා හඬ නඟා කීමට පුරුදු වී සිටියේය. ඒවා මට ව්‍යාකූල වූවත් ඔහුට අනුව කවි රචනා සාමාන්‍යයෙන් කාටවත් තේරෙන්නේ නැත.ඊට පසු දින රාත්‍රියේ මා ඇඳේ එහට මෙහාට පෙරලෙමින් ගතකලේ ඉහල ඇඳේ සිටි තෙරේස්වද අවදි කරමිනි.මට මගේ මවගේ පියාගේ අවශ්‍යතාවය තදින්ම දැනිණි.ඔවුන්ගේ අළු පැහැ ගැන්වුනු හිසකේ ත් රැළි වැටුණු නලල් තලත් මගේ ප්‍රීතියට හේතු නොවූ බව සැබෑය.ඔවුන් තරුණ යුවලක් වී නම් කොතරම් අගනේ දැයි මට සිතිණි. 
අහා ! මගේ හොඳම යෙහෙළිය වූ ඊව්ලීස් ,ඇගේ මව සමඟ කැතීස්මයට පල්ලි යද්දී සිදුවූ ලෙස මිනිස්සු මගේ මවත් මගේ වැඩිමහල් සොහොයුරිය ලෙස වරද්දවා ගන්නවානම් කොතරම් අගනේද ! ලා පෙතීත් ලාරූස් විස්තරාත්මක ශබ්ද කෝෂයෙන් කෙනෙකුට තේරුම් සොයගත හැකි බව පසු කාලීනව මට අවබෝධ වූ ලතින් පාඨ වලින් මගේ පියා ඔහුගේ කතාබහ ඔප දැමූ විට මම සැබවින්ම කම්පා වූයෙමි.
« Verba volant, scripta manent, carpe diem , pater familias , dues ex machine »2

එමෙන්ම මගේ මව ඇගේ හමේ පාටට වඩා පැහපත් ස්ටොකින්ස් මේස් අව්වේ පැළැඳ සිටිනු දැකීමත් මට වේදනා ගෙනදීය. නමුදු මා ඔවුන්ගේ හදපත්ලෙන්ම නැගෙන සෙනෙහස හඳුනා ගත් අතර ඔවුන් සෑමවිටම උත්සාහ කලේ අපව සමාජයේ උසස් තැනකට ගෙන ඒමට සූදානම් කිරීම බව මම අවබෝධ කර ගතිමි.
   
             මම මගේ සහෝදරයාගේ විනිශ්චය ගැන සැක සාංකා ඇති කර නොගැනීමට තරම් ඔහු කෙරෙහි මහත් විශ්වාසයක් තබා සිටියෙමි.ඔහුගේ කට හඬේ ස්වරයෙන් හා හැඟීම් ප්‍රකාශ වලින් මට ඒත්තු ගැන්නුනේ පිටස්තරයෝ යන ගුප්ත වචනයෙන් හැඟෙන්නේ ලජ්ජාවට පත්විය යුතු ගොනෝරියා වැනි රෝගී තත්වයක් හෝ පසුගිය අවුරුද්දේ ලා පොආන්ත් වල බොහෝදෙනා ගොදුරු වූ කහ උණ වැනි මාරාන්තික තත්වයක් බවය. රාත්‍රී දොළහ කණිසම වැදෙත්ම සියලු කරුණු එකට ගැට ගසා ගත නොහැකි වූ මා අවසානයේ න්‍යායක් මවා ගත්තෙමි.   පිටස්තරයෙක් යනු තමාට වීමට හැකි පුද්ගලයා වීමට අකමැති හෙයින් තමාට වීමට නොහැකි පුද්ගලයෙක් වීමට උත්සාහ දරන්නෙකි. දෙකේ කණිසම නාද වෙත්ම නිදාගැනීමට මොහොතකට පෙර මම දිවුරා පොරොන්දු වූයේ කිසිදිනෙක පිටස්තරයෙක් බවට පත්නොවන බවයි.

          මෙම හේතුව නිසා මම අමුතුම තාලේ දැරිවියක් බවට පත් වූයෙමි.සාමාන්‍යය දරුවෙක් නොවී එකට එක කියන්නත් තර්ක කරන්නත් වූයෙමි.මගේ ජීවිතයේ අරමුණු පිළිබඳ කිසිඳු හැඟීමක් නොතිබූ නිසා මගේ දෙම්ව්පියන් යෝජනා කල සියලු දෙයක්ම ප්‍රශ්න කිරීමට පුරුදු වූයෙමි.
          අයිදා හෝ ලක්මේ සංගීත ඔපෙරා ශ්‍රවණය කිරීමට යෑම. ඔරොන්ජෙරි කෞතුකාගාරයේ නිල්මහනෙල් චිත්‍ර නැරඹීමට යෑම. එසේ නැතිනම් ගවුමක් ගැන, සපත්තු ජෝඩුවක් ගැන හෝ කොණ්ඩය ගැට ගසන ආකාරය ගැන.ඉවසීමට නම් නොදැරූ මගේ මව දිනකට විසිවතාවක් පමණ නිර්ලෝභීව ඇගේ අදහස්ද ප්‍රකාශ කළාය.

-දෙය්යනේ !, මේ ළමයාට මොකා වැහිලද?

එම චාරිකාව අවසානයේ ගත් ඡායාරූපයකින් දිස්වෙන්නේ අප ලුක්සම්බූර් උද්‍යානයේ සිටි බවයි.පඩිපේලියක් මෙන් සිටින මගේ සහෝදර සහෝදරියෝ. පිටතින් ලොම් තීරුවක් සහිත කබායක් හැඳ උඩු රැවුල වවාගෙන සිටින මගේ පියා. අළු පැහැ ෆෙල්ට් තොප්පිය යටින් දිගැති ආමන්ඩ් හැඩයේ දෙනෙත් පෙන්වාගෙන මුතුකැට වැනි දත්පෙල ද පෙන්වා සිනාසෙන මගේ මව. ඉරණම විසින් කළගුණ නොදත් දරුවන්ට දෙන දඬුවමක් විලසට අවුරුදු විස්සේ සිට මා අනාථ දරුවෙක් කරන තුරු හා යොවුන් විය අවසන් වන තෙක් උරුම වූ විඩාබර විරූපී ඇටසැකිල්ලක් බඳු ශරීරයෙන් යුක්ත වූ මම ඇගේ දෙදණ අතරට මැදිවී සිටියෙමි.

එදින සිට මා නිරන්තරයෙන්ම පිටස්තර භාවය යන වචනය තේරුම්ගැනීමට උත්සාහ කළ අතර සොන්ද්‍රිනෝ ගේ නිරවද්‍යතාවය ප්‍රශ්න මම මගෙන්ම කළෙමි. මගේ දෙමව්පියන් පිටස්තරයන්ද? නිසැකවම ඔවුන් ඔවුන්ගේ අප්‍රිකානු උරුමය පිළිබඳ අභිමානයක් නොපෙන්වූහ.ඔවුහු එය මග හැරියහ. එය ප්‍රත්‍යක්ෂය. ප්‍රංශයේ ගත කාලයේදී මගේ පියා කිසිදිනෙක එකෝල් වීදියේ පිහිටි අලිඋන් දිඕප් ගේ මොලයෙන් බිහි වූ "ප්‍රෙසෝන්ස් අෆ්‍රිකෑන්" සඟරාව නිකුත්කරන කාර්යාලයට අඩිය තබා නැත.මගේ මව මෙන් ඔහුද විශ්වාස කලේ වටිනා කමක් ඇත්තේ බටහිර සංස්කෘතියේ පමණක් බවත් එය ඔවුනට ද ලබාගැනීමට අවසර දුන් දුන් ප්‍රංශයට සදා ණයගැති බවත්ය. එමෙන්ම ඔවුන් දෙදෙනාගෙන් කිසිම අයෙක්ට සමේ වර්ණය නිසා පහත් හැඟීමක් නොවීය.උසස් නීග්‍රෝ ජාතිකයන්ගේ ඉදිරි පැවත්ම වෙනුවෙන් දරුවන් නමදෙනෙක්ගේ සාක්ෂියක්ද ගෙන ඔවුහු මෙලොව සිටින උගත්ම උසස්ම පුද්ගලයන් යැයි සිතාගෙන සිටියහ.

“පිටස්තරභාවය” යනු මෙයද ?




1 ප්‍රංශ හා බටහිර ඉන්දියානු මව්බසේ සම්මිශ්‍රණයක්


2 ලතින් පාඨ : 
Verba volant scripta manent- පවසන වචන පාවී යයි .ලියන වදන් රැඳෙයි.
Carpe diem -  අද හොඳම දවස
Pater familias - ගෘහ මූලිකයා
Dues ex machine -  යන්ත්‍රයෙන් මතු වූ දෙවියා, නාට්‍යමය ප්‍රයෝගයක්



Translated by Jahooli Devi

Chapter 1 of the novel  Le cœur à rire et à pleurer by Maryse Condé



Thursday, July 9, 2015

Un Paradis Oublié Forgotten Paradise

Aimer mon pays
un amour tardé un devoir manqué, Possédé 
par des fantômes blancs désillusionné par les mirages luxes On a abandonné notre patrie au milieu de
l'Océan Indien
pour pleurer 
de sa forme... On l'a blessée torturée dévorée 
par la honte de sa pauvreté... Quand on a faim et soif on a cherché 
les terres lointaines Inconnus pour mendier... On revient après des années
des années d'ignorance demandant pardon... Mon cher pays ! On t'a oublié poussant les voiles de fer pour te fuir à travers le ciel... On est revenu 
chercher nos racines parmi ses arbres gigantesques, la douceur parmi ces rivières chevaleresques, la fierté, sur ces montagnes pittoresques, pour Vivre, respirant sa pureté... Aimer, toi ta gentillesse ton courage malgré la misère battue par les moussons, tes sourires éclatants venant d'un cœur plus chaud qu'un soleil éternel, tes hommes, femmes, enfants 
partageant leur riz au curry épicé sous l'ombre des cocotiers, tes prières spirituelles plus fortes que les vagues bleues qui te frappent, cet enchevêtrement envahissant, cette simplicité de la vie, cet amour tardé le devoir manqué
c'est pour toi,
On te porte comme un collier pierres 
précieuses dans nos âmes criantes Vive le Sri Lanka...


Par Jahooli Devi



Photo 1 : La Baie de Trincomalee, Sri Lanka

Photo 2 : Adam's peak, Sri Lanka ©Sébastien Javelle

Friday, April 24, 2015

දුරකතන ඇමතුමක් ( A Telephone Call by Dorothy Parker, 1944)





අනේ, දෙවියනේ, එයාට මට කෝල් කරන්න ඉඩ දෙන්න. දෙවි ස්වාමිනේ, එයාට මට දැන්මම කෝල් කරන්න ඉඩ දෙන්න. මම ඔබ වහන්සේගෙන් වෙන මොකුත්ම ඉල්ලන්නේ නෑ, ඇත්තෙන්ම වෙන මොකුත්ම ඕනේ නැහැ. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. ඔබ වහන්සේට මේක ඉතාම සුලු දෙයක්, දෙවියනේ හරිම හරි පොඩි වැඩක්. කෝල් කරන්න විතරක් ඉඩ දෙන්න. අනේ, දෙවියනේ, ප්ලීස්, ප්ලීස්, ප්ලීස්.

මං ඒ ගැන හිතුවේ නැත්තම්, සමහර විට ෆෝන් එක රිං වෙයි. සමහර වෙලාවට එහෙම වෙනවා. මට වෙන මොනව හරි ගැන හිතන්න පුළුවන්නම්. වෙන මොනවම හරි ගැන හිතන්න පුළුවන්නම්. මං පහ ගානේ පන්සීයට ගණන් කලොත් ඒ වෙලේ රිං වෙයි. මම හෙමින් ගණන් කරන්න ඕනේ. මම හොර කරන්නේ එහෙම නැහැ. තුන්සීය වෙද්දී ෆෝන් එක වැදුනොත්, මම නවත්තන්නේ නැහැ, පන්සීයට යනකම්ම ඉන්නවා. පහ, දහය, පහලොව, විස්ස, විසිපහ , තිහ, තිස්පහ, හතලිහ, හතලිස් පහ, පනහ, ......අයියෝ , දැන්වත් වදින්නකෝ, ප්ලීස්.

මං මේ අන්තිම වතාවට තමා ඔරලෝසුව දිහා බලන්නේ, ආපහු නම් බලන්නේ නැහැ. දැන් වෙලාව හතයි දහයයි. එයා කිව්වේ පහට කතා කරනවා කියලා.
" මං පහට කතා කරන්නම්, ඩාලිං". මං හිතන්නේ එවේලේ තම එයා "ඩාලිං" කියල කිව්වේ. මට හොඳටම ෂුවර් එයා එහෙම කිව්ව. මං දන්නව එයා මට දෙපාරක් ම "ඩාලිං" කියල කිව්ව. අනිත් වේලේ තම එයා යන්න හදද්දී, "ගුඩ් බායි ඩාලිං" කියල කිව්ව. එයාට හරියට වැඩ වැඩියි ඔෆිස් එකේ, ඒත් එයා, "ඩාලිං" කියල දෙපාරක්ම කිව්වා.
මං එයාට කෝල් කරපු එක එයාට ගාණක් නැතුව ඇති. මං දන්නවා නිතරම ටෙලිෆෝන් කරන හොඳ නැහැ කියලා. ඒගොල්ලන් ඒකට කැමති නැහැ. එහෙම කලාම, ඒගොල්ලන් දැනගන්නව අපි එයාල ගැන නිතරම හිතනවා, හැම එකටම ඕනේ වෙනව කියල, එතකොට ඒගොල්ලන්ට අපිව එපා වෙනවා. ඒ වුනාට මං දැන් එයාට දවස් තුනකින් කතා කරල නැහැ, දවස් තුනක්!

මං එයාගෙන් ඇහුවේ සැප සනීප කොහොමද කියල විතරයි, ඕනේ කෙනෙක් කතා කරල අහන විදිහට. එයාට ඒකට කේන්ති යන්න විදිහක් නෑනේ. මං එයාට කරදර කරනව කියල හිතන්න විදිහකුත් නැහැ. "නෑ, කිසිම ප්‍රශ්නයක් නැහැ", එයා කිව්වා. ඊට පස්සේ එය කිව්වා මට කතා කරන්නම් කියලා. එය එහෙම කියන්න ඕනේ නෑනේ. මම එයාට කිව්වේ නෑනේ, ඇත්තෙන්ම නෑ . මට හොඳටම ෂුවර් , මං කිව්වේ නෑ .මං හිතන්නේ නෑ එයා මට කෝල් කරනවා කියලා , ඊට පස්සේ නිකන් ඉඳියි කියලා. අනේ දෙවියනේ , එයාට එහෙම කරන්න ඉඩ තියන්න එපා.

" මං ඔයාට පහට කතා කරන්නම් , ඩාලිං " " ගුඩ් බායි ඩාලිං" එය හරි හදිසියෙන් හිටියේ වැඩ ගොඩක් අස්සේ. එයා වටේ සෙනගත් ගොඩාක් හිටියා. ඒ වුණාට එය දෙපාරක්ම ඩාලිං කියලා කිව්වා. ඒක මගේ, එක මගේ . එයාව ආපහු ජීවිතේටම මුණ ගැහුණේ නැති වුනත් , මට ඒක ඉතුරු වෙලා තියෙනවා. ආපෝ, ඒ වුනාට ඒක මදි., හරිම කෙටියි. එයාව ආපහු දකින්න ලැබෙන්නේ නැත්තම් , මොන දේත් මදි. ප්ලීස් දෙවියනේ , මට එයාව එක පාරක් දකින්න ඉඩ දෙන්න. ප්ලීස්, මට එයාව ඕනෙම ඕනේ. ගොඩාක් ඕනේ. ඔබ වහන්සේ මට එයාව තව පාරක් හම්බ වෙන්න ඉඩ දුන්නොත්, මං හොඳ කෙල්ලෙක් වෙන්නම්. , අඩුම ගානේ උත්සාහ හරි කරන්නම්, සත්තයි. ඔබ වහන්සේ එයාට මට කෝල් කරන්න ඉඩ දුන්නොත්. අයියෝ, එයාට කෝල් කරන්න ඉඩ දෙන්නකෝ.

මගේ මේ ඉල්ලීම සුළුවට ගන්න එපා. දෙයියන්ට නම් මොකද , කෙස් පැහිලා වයසට ගිය ඔබ වහන්සේ සුරංගනාවන් පිරිවරාගෙන , තරු කැට කඩා වැටෙන නිල් පාට ආකාසේ පාවී පාවී ඉන්නවා. මං ඔබ වහන්සේ ගාවට එන්න ටෙලිෆෝන් කෝල් එකක් වගේ පොඩි ඉල්ලීමකට. ආහ්, මේක විහිලුවකට ගන්න එපා. පේනවනේ , ඔබ වහන්සේ දන්නේ නෑ එකේ තරම. ඔබ වහන්සේ වලාකුළක පාවෙවී , ඔය ආසෙනට වේලා ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැතිව. මොනවා උනත් ඔබ වහන්සේ සැලෙන්නේ නෑ , කාටවත් අත වත් තියන්න බෑ. මේක හරි වේදනාවක්, පුදුම වේදනාවක් . ඔබ වහන්සේ මට උදව් කරන්නේ නැද්ද? ඔබ වහන්සේගේ පුතාගේ නාමෙන් වත් මට උදව් කරන්න. ඔබ වහන්සේ කිව්වනේ "එතුමා ගේ" නාමෙන් ඉල්ලුවොත් ඕනේ දෙයක් කරනවා කියලා. ඔබ වහන්සේගේ අති උතුම් පුත්‍රයා වන , ජේසු තුමාගේ නාමෙන්වත් , එයාට මට කෝල් කරන්න ඉඩ දෙන්න.

මම මේක නතර කරන්න ඕනේ. මේ විදිහට හැසිරෙන්න හොඳ නැහැ. හිතන්න තරුණ කොල්ලෙක් කියනවා කෙල්ලෙක්ට කෝල් කරන්නම් කියලා. ඊට පස්සේ මොනවහරි සිද්ධ වෙලා කතා කරන්නේ නැහැ. එක එච්චර ලොකු දෙයක්ද? මේ වෙනකොට ලෝකේ වටේ මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. මට මොකක්ද තියෙන අමාරුව ලෝකේ වටේ වෙන දේවල් ගැන. ඇයි මේ ෆෝන් එකට රිං වෙන්න බැරි, ඇයි බැරි? ඇයි බැරි ? ඔයාට තනියම රිං වෙන්න බැරිද? අනේ ප්ලීස්, බැරිද ඔයාට? මොන මළ ඉලව්වක් ද? කැත විතරක් උඹේ! ඇයි රිං උනොත් රිදෙනවද? ආ ඔව්නේ , උඹට රිදෙයිනේ. මේ හතර මායිමේ උඹට ඉන්න ඉඩ තියන්නේ නැහැ. මං කුඩු පට්ටම් කරලා දානවා උඹේ ඔය කළු පාට මූණ. මක බෑවිලා පල!

නෑ , නෑ , නෑ . මං මේක කොහොම හරි නතර කරන්න ඕනේ. වෙන දෙයක් ගැන හිතන්න ඕනේ. මෙන්න මේකයි මං කරන්න යන්නේ. මම ඔරලෝසුව අනිත් කාමරයේ තියනවා. එතකොට මට ඒක බලන්න බෑනේ, මට ඒක බලන්න ඕනේ උනොත් නිදන කාමරයට යන්න වෙනවා , එතකොට ඒක වෙනම වැඩක් නේ. සමහර විට මම එක දිහා අපහු බලන්න ඉස්සෙල්ලා , එයා මට කෝල් කරයි. එයා මට කෝල් කලොත්, මම හරිම ස්වීට් විදිහට කතා කරනවා . අද රෑට හම්බ වෙන්න එන්න බෑ කිව්වොත් " ආ, එකට කමක් නැහැ පැටියෝ, කිසිම ප්‍රශ්නයක් නැහැ ." හරියට එයාව පළමු වෙනි වතාවට හම්බවුන විදිහටම ඉන්නවා. සමහර විට එයා එතකොට ආපහු මට කැමති වේවි. මම හැම වෙලේම මුලදී හරිම ස්වීට්. ඔව් , ආදරය කරන්න පටන් ගන්න ඉස්සෙල්ල ස්වීට් විදිහට ඉන්න ලේසියි.
 
මම හිතන්නේ තම එයා මට පොඩ්ඩක් හරි කැමතියි. එයා මට ටිකක් හරි කැමති නැත්තම්, අද මට දෙපාරක්ම "ඩාලිං" කියන්න බෑනේ. එහෙනම් හැම දෙයක්ම නැති වෙලා නැහැ, එයා මට ටිකක් හරි චුට්ටම චුට්ටක් හරි කැමති ඇති. ඔබ වහන්සේට පේනවද, පොඩ්ඩක් හරි එයාට මට ටෙලිෆෝන් කරන්න ඉඩ දෙනවනං , මම ඔබ වහන්සේගෙන් මොකුත්ම ඉල්ලනේ නැහැ. මම පරණ විදිහට හරිම සතුටින් ඉන්නම්. එතකොට එයා මට ආපහු ආදරය කරන්නන පටන් ගනියි. එතකොට ඔබ වහන්සේගෙන් කිසිම දෙයක් ඉල්ලන්න වෙන්නේ නැහැ. ඔබ වහන්සේට මේක පෙන්නේ නැද්ද? එයාට ඉඩ දෙනවද නැද්ද? දෙන්නේ නැද්ද? ප්ලීස්, ප්ලීස්, ප්ලීස් ?

ඔබ වහන්සේ මට මේ දඬුවම් කරනවාද මං මේ හරි නරක විදිහට හැසිරුණු නිසා. ඔබ වහන්සේ මාත් එක්ක තරහ මං "අරක" කරපු නිසාද? අයියෝ, දෙවියනේ තව කොච්චර නරක මිනිස්සු ඉන්නවද ? ඔබ වහන්සේ මට විතරක් තදින් ඉන්න හේතුවක් නෑනේ. ඒක එච්චර "නරක වැඩක්" නෙමේ. ඒත් නරක වෙන්නත් ඉඩ තිබුන. අපි කාටවත් හිරිහැරයක් කලේ නෑනේ. දෙවියනේ, නරක දේවල් කියන්නේ මිනිස්සුන්ට රිදෙන දේවල් වලට, අපි කුරා කූඹියෙකුටත් හිරිහැරයක් කරලා නෑ. ඔබ වහන්සේ දන්නවනේ , ඒක එච්චර නරක වැඩක් නොවන බව, ඇයි දන්නවානේ ? ඉතින් ඔබ වහන්සේ එයාට ඉඩ දෙනවද මට කතා කරන්න ?

එයා මට කෝල් කලේ නැත්තම් , මං දන්නවා දෙවියන් වහන්සේ මාත් එක්ක තරහ වෙලා බව, මම පහ ගානේ පන්සීයට ගණන් කරනවා. එතකොටත් එය මට කතා කරලා තිබුනේ නැත්තම් , මං දන්නවා දෙවියෝ ආපහු මට කවදාවත් උදව් කරන්නේ නැති බව. එක තම සංඥාව. පහ, දහය, පහලොව, විස්ස, විසිපහ , තිහ, තිස්පහ, හතලිහ, හතලිස් පහ, පනහ, පනස් පහ... "ඒක" නරකයි තමා , මං දැන ගත්ත ඒක "නරක වැඩක්" බව, කමක් නැහැ, එහෙනම් දෙවියෝ, මාව අපායට යවන්න, . ඔබ වහන්සේ හිතන්නේ ඔය අපාය පෙන්නලා මාව බය කරන කරන්නද ? හිතනවද ඔය අපාය මගේ අපායට වැඩිය නරක බව?

මම මේක කරන්න ඕනේ නැහැ. හිතන්න, එයට කතා කරන්න පොඩ්ඩක් පරක්කු වුනා නම්, මේක මේ පිස්සු වට්ට ගන්න ඕනේ වැඩක් නෙමෙයිනේ. සමහර විට එයා කෝල් නොකර මෙහාට කෙලින්ම එන්න හදනවා වෙන්නැති. මම අඬලා තියෙනවා දැක්කොත්, එයට කේන්ති යයි. ඒගොල්ලන් කැමති නෑ අපි අඬනවට, එයා අඬන්නෙත් නැහැ. අනේ මට එයාව අඬවන්න පුලුවන්නම්. එයගේ හදවත හොඳටම පාරල, කඳුලු බේරෙන කම් මට එයාව අඬවන්න පුලුවන්නම්. එහෙම අපා දුකක් දෙන්න පුළුවන්නම් නියමයි.

ඒත් එයා නම් මට එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයා නිසා මට හිතෙන දේවල් ගෙන එයා හාංකවිස්සියක්වත් නැහැ. මං එයාට ඒ දේවල් කියන්න යන්නේ නැතුව , එයාටම ඒවා තේරුම් ගන්න පුළුවන්නම් හොඳයි. ඒගොල්ලන් කැමති නෑ ,ඒ කට්ටිය නිසා අපි ඇඬුවා කියල කියනවට. අපි දුකින් ඉන්නවා කියල අහන්නත් ඒගොල්ලන් කැමති නෑ. එහෙම කලොත් ඒගොල්ලන් හිතන්නේ , අපි හරි ඇණ කියලා . ඊට පස්සේ අපිව පෙන්නන්න බැහැ. කොයිම හරි වෙලාවක අපි ඇත්තටම හිතන දේ කිව්වොත් අපිව පෙන්නන්නම බැහැ. අපිට තියෙන්නේ පොඩි පොඩි මායම් දාන්න. ඒත් එහෙම වෙන්නේ නැත්තම් හොඳයි. ඇත්තටම මට හිතන දේ කියන්න පුලුවන්නම්. මම හිතන්නේ නෑ කවදාවත් . එයා මට ටෙලි ෆෝන් කලොත් මං එයාට කියන්නේ නෑ එයා නිසා මං දුක් වුනා කියලා . ඒ කට්ටියට අඬන ගෑණු පෙන්නන්න බැහැ . මම හරිම සතුටින් ඉන්නම්, ඉතින් එයා මට ගොඩාක් කැමති වෙයි. අනේ දැන් එයා කතා කරනවනම්, දැන්ම කතා කරනවානම්!

එහෙනම් එයා එහෙම තම කරනවා ඇත්තේ. එයා සමහරවිට කෙලින්ම මෙහාට එනව ඇති. සමහර විට මගදී මොකක් හරි කරදරයක් වෙන්න ඇති. නෑ. එයාට මොකුත් වෙන්න බෑ. එයාට මොනවා හරි වෙනවා කියල මට හිතන්නවත් බෑ . වාහනයකට වත් යට වෙලාද? එයා මිනී පෙට්ටියක වැතිරිලා ඉන්නවා මට මවා ගන්න බෑ . එයා මළානම් හොඳයි. ඒක මහා දරුණු ප්‍රාර්ථනාවක් . නැහැ, ආදරණීය ප්‍රාර්ථනාවක්. එයා මළොත්, එයා මගේ. එයා මළොත් මං අද දවස ගැනවත්, පහු ගිය සති කීපය ගැනවත් හිතන්නේ නැහැ. එතකොට මට මතකයේ තියෙන්නේ ආදරයෙන් හිටිය වේලාවන් විතරයි. අනේ එයා, මළොත් හොඳයි. මැරියන්, මැරියන්, මැරියන් .

මේක මහ මෝඩ වැඩක්. මිනිස්සු වෙලාවට කතා කලේ නෑ කියල, උන්ට මැරෙන්න කියල ප්‍රාර්ථනා කරන එක මහා පිස්සු වැඩක්. සමහර විට ඔරලෝසුවේ කටු වේගයෙන් කරකැවෙනවා ඇති, එකේ වෙලාව හරිද දන්නේ නැහැ. සමහරවිට එයා පරක්කු නැතිව ඇති, මොකක් හරි නිසා පරක්කු වෙලා ඇති, ඔෆිස් එකේ ඉන්න සිද්ධ වෙන්නැති. සමහර විට ගෙදර යන්න ඇති., එහේ ගිහිල්ල කතා කරන්න, ඊට පස්සේ සෙනග ඉන්න ඇති, එයා කැමති නැහැ අනිත් අය ඉස්සරහ මට කෝල් කරන්න,. සමහර විට එයා හරියට පසුතැවිලි වෙනවා ඇති, ටිකක් හරි , අඩුම ගාණේ ටිකක් හරි... මට බලන් ඉන්න වුන එක ගැන. , එයා හිතන්නේ ඇති මම එයට කෝල් කරයි කියලා . මට එක කරන්න පුළුවන්. ආ, මට ටෙලිෆෝන් කරන්න පුළුවන්.

නෑ , නෑ, නෑ කොහෙත්ම නෑ, අනේ දෙවියනේ මට එයාට කෝල් කරන්න නම් ඉඩ තියන්න එපා, ඒවගේ දෙයකින් මාව ඈත් කරලා තියන්න, මං දන්නවා, එයා ඇත්තටම මං ගැන හිතනවානම්, මං ගැන ටිකක් හරි හොයල බලනවනම්, කොතන හිටියත්, කොච්චර සෙනග එක්ක හිටියත්, මට කතා කරන්න ඕනේ. අනේ දෙවියනේ මට ඒක දැන ගන්න දෙන්න. අනේ , මට බලාපොරොත්තු තියාගන්න ඉඩ දෙන්න එපා. මාව සනස ගන්න දේවල් කියන්න ඉඩ තියන්න එපා. ප්ලීස් , මට බලාපොරොත්තු තියා ගන්න ඉඩ තියන්න එපා.


නැහැ, මම කතා කරන්නේ නැහැ, . ජීවත් වෙලා ඉන්නකම්, ආපහු කතා කරන්නේ නැහැ, . එයා අපායේ දුක් විදලා මැරෙයි. මට ඔබ වහන්සේගෙන් ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. මං ගාව තියෙනවා ඒක ඕනේ තරම්. එයාට ඕනේ නම මට කතා කරයි එයා දන්නවනේ මං කොහෙද ඉන්නේ කියල. එයා දන්නවා මං එයාගෙන් කෝල් එකෙක් එනකම් බලා ඉන්න බව. එයට මං ගැන හොදට ෂුවර්, සීයට සීයක් විශ්වාසයි. මට තේරෙන්නේ නැහැ , ඇයි ඒගොල්ලන් අපිට වෛර කරන්නේ හොදටම ෂුවර් උනාම. ඇත්තටම ෂුවර් වෙන එක හරිම ස්වීට්.

මං එයාට ටෙලිෆෝන් කරන එක ලේසි වැඩක්. ඊට පස්සේ නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන්. ඒක එච්චර මෝඩ වැඩක් නෙමේ. එයා බනින එකක් නෑ. එයා සමහරවිට ඒකට කැමති වෙයි. සමහරවිට එයා කෝල් කරන්න හදන්න ඇති. කෝල් කරන්න ට්‍රයි කරද්දී , දුරකතනය ක්‍රියා විරහිත කර ඇත කියල කියන්න ඇති. මේවා මේ මම සැනසෙන්න කියනවා නෙමේ, එහෙම අනන්තවත් වෙනවා. ඔව්, ඇත්තටම වෙනවා. අයියෝ, ඔය කෙහෙල්මල් ෆෝන් එකෙන් මාව අයින් කරලා තියන්න , මාව ඈතට කරලා තියන්න. අඩුමගානේ පොඩ්ඩක් හරි මාන්නේ තියාගන්න ඉඩ දෙන්න. දෙවියනේ පොඩ්ඩක් හරි තියාගන්න දෙන්න. , දෙවියනේ එක විතරයි මට ඉතිරි වෙලා තියෙන්නේ.


අයියෝ, එයා මට කතා නොකර ඉද්දී මට ඉවසගෙන ඉන්න බැරි නම් , ආඩම්බරකමෙන් ඇති වැඩේ මොකක්ද ? ආඩම්බරකම කියන්නේ මහා පුස් දෙයක් නේ. හැබෑ ආඩම්බරකම කියන්නේ , ලොකුම ආඩම්බරකම කියන්නේ, මොනම ආඩම්බරක්මක්වත් නැති එක. නෑ, නෑ මම එහෙම කියන්නේ , මට එයාට කෝල් කරන්න ඕනේ හින්දා නෙමේ. එක ඇත්ත. , මම මේ පුංචි පුංචි ආඩම්බරකම් වලින් මිදිලා දවසක ලොකු වෙන්නම්කෝ.

අනේ දෙවියනේ, මට එයාට දිගටම ටෙලිෆෝන් කරන්න ඉඩ දෙන්න.
මට නම් තේරෙන්නේ නැහැ ආඩම්බරකම මෙතෙන්න එන්නේ කොහොමද කියලා . මේක හරි සුළු දෙයක්, හිතන්න තරම්වත් වටින්නේ නැහැ. මං එයා කියපු දේ හරියට තේරුම් ගන්නේ නැතිව ඇති. සමහර විට එයා කියන්න ඇත්තේ , පහට එයාට කතා කරන්න කියල වෙන්න ඇති. " පහට කතා කරන්න ඩාලින් " එය එහෙම කිව්වේ කියල මට ෂුවර් වගේ. අනේ දෙවියනේ, මේ විදිහට මට තනියම කතා කරන්න ඉඩ දෙන්න එපා. කියන්න මට, කියන්නකෝ.

මම වෙන මොනවහරි ගැන හිතනවා. නැත්තම් කට වහගෙන ඉදගෙන ඉන්නවා. මට එක විදිහකට ඉදගෙන ඉන්න පුලුවන්නම්. එකම විදිහකට ඉදගෙන ඉන්න පුලුවන්නම්. නැත්තම් මම පොතක් කියවන්න ඕනේ. ආපෝ , පොත් වල උනත් තියෙන්න ඇත්තට ආදරය කරන ජෝඩු ගැන . මොන මගුලකට ඒවා ගැන ලියනවද මන්දා. උන් දන්නේ නැද්ද ඒක පට්ටපල් බොරුවක් බව? ඒකෙ තියෙන අමාරුව දැන දැන , මොන රෙද්දකටද ඒක ගැනම ලියන්නේ . උන් ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕනේ. මකබෑ වෙලා පලයල්ලා.

මං එහෙම කරන්නේ නෑ . කට වහගෙනම ඉන්නවා. මේක එච්චර උඩ පනින්න දෙයක් නෙමේ. හිතන්න. එයාව මං එච්චර දන්නා කෙනෙක් නෙමේ කියල. හිතන්න, එයා ගැණු ළමයෙක් කියල. මම නිකම් එයා ටෙලිෆෝන් කරලා කියනවා , " දෙයියන්නගේ නාමෙට ඔයාට මොකද උනේ, අනේ " ඒක තමා මම කරන්නේ. මම එක ගැන හිතන්නේ යන්නේ නැහැ . මං එයාට ආදරය කරනවා කියල ඇයි මට සාමාන්‍ය විදිහට ඉන්න බැරි ? මට ඉන්න පුළුවන්. ඇත්තටම ඉන්න පුළුවන්. මම එයාට නිකන් කතා කරලා, හරිම ප්‍රසන්න විදිහට ඉන්නවා. ඔබ වහන්සේ බලනන්කෝ , මම කරන්නේ නැද්ද කියල. එත් දෙවියනේ, මට නම් එයාට ආපහු කෝල් කරන්න ඉඩ තියන්න එපා. එපා. එපා. එපා.

දෙවියනේ, ඔබ වහන්සේ ඇත්තටම එයාට මට කෝල් කරන්න ඉඩ දෙන්නේ නැද්ද, ඔබ තුමාට ෂුවර්ද?
පොඩ්ඩක් අනුකම්පා කරන්න බැරිද ? බැරිද ?

මම ඔබ තුමාට කියන්නේ නැහැ මේ දැන්මම, එයාට කෝල් කරන්න ඉඩ දෙන්න කියල, තව ටික වෙලාවකින් කතා කරන්න ඉඩ දෙන්න.

මම පහ ගානේ පන්සීයට ගණන් කරන්නම්, මම හෙමින්ම, වරද්දනේ නැතුව කරන්නම්. එතකොටත් , එයා ටෙලිෆෝන් කරලා නැත්තම් මම එයාට කෝල් කරනවා, , මම කරනවමයි. ප්ලීස් , අනේ කරුණාවන්ත , ආදරණීය දෙවි ස්වාමිනේ , මම එක කරන්න ඉස්සෙල්ල, එයට කෝල් කරන්න ඉඩ දෙන්න, ප්ලීස්, ප්ලීස්!

පහ, දහය, පහලොව, විස්ස, විසිපහ , තිහ, තිස්පහ...


Translated by Jahooli Devi