Tuesday, November 10, 2015

Sri Lankan Poetry - Yannan Chandare - Timraan Keerthi - National Literary Award 2015

Advertisement

යන්නං චන්දරේ , කර්තෘ ප්‍රකාශනයකි  
ටිම්රාන් කීර්ති 


  මාර්තු මාසයේ පැවැත්වුන අන්නාසි කඩල ගොටු සාහිත්‍ය උත්සවයේ සිංහල කාව්‍ය පිළිබඳ සාකච්ඡාව නැරඹීමට ගිය මට ටිම්රාන් කීර්ති කියන තරුණ කවියා මුණ ගැසුණි . ඔහුට මේ අවුරුද්දේ 2015 හොඳම කාව්‍ය සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණ අතර  ඒ සම්මානය ඔහුගේ ඉදිරි සාහිත්‍ය කාර්යය කර ගෙන යාමට  අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇතැයි මම සිතමි.


සාහිත්‍ය උත්සවයේ ඔහුගේ කවිය සඳහා පෙනී සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල ආචාර්ය වරයෙක් වන  ලියනගේ අමරකීර්ති  මහතා. කොටින්ම ඔහුට වත් ලියන්න බැරි "පට්ට" කවි ටිම්රාන් ලියලා තිබුන නිසා එයා වෙනුවෙන් සිත් ඇඳ බැඳ ගන්නා ලෙස  මහත් "අනුකම්පාවෙන්", මහත් උනන්දුවෙන් කතා කලේ ඔහු. දෙදෙනාම කීර්ති වීම තුලත් දෙදෙනාටම දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම තුලත් ඇති විමතිය පසෙකලා ටිම්රාන් ගේ කවි ගැන කතා කිරීම සුදුසුය.

ලියනගේ අමරකීර්ති මහතාට  ටිම්රාන්ව පැත්තකට කර තියන්න සිදු වුණේ  ඔහුට විශ්වවිද්‍යාලයේ යන්න ලකුණු කිහිපයක් මදි වීමත්, ඔහු කිරි ගොවියෙක් හා කම්කරුවෙක් ලෙස සේවය කිරීම යන කරුණු සබාව ඉදිරිපිට කියා ඔහුගේ පුරුෂ ශක්තිය කපා දා තිබූ නිසා හෝ තමා ලියන්නේ ගිනි පුපුරු වගේ කවි යයි නොදන්න ටිම්රාන් සතුව ආත්ම ශක්තියක් නොතිබූ නිසාත් වෙන්නැති.

මට ලතින් පාඨයක් සිහිවේ. Latin proverb : Verba volant, scripta manent  "spoken words fly away, written words remain". 
ලියන්නට පුලුවන් වූ ඔබට කියන්නට නොහැකි ඇයි මිතුර?? 

ඊට අමතරව රෝලන්ඩ් බාර්ත් තර්ක කරන ලෙස කතුවරයාගේ මරණය හෙවත් ඔහුගේ නොවැදගත්කම කවියක් විචාරය කරන විටදී භාවිතා නොකිරීම ගැන මට ඇතිවුනේ ගැටළුවක්.
අපිට කවියාගේ උප්පැන්න සහතිකය කුමටද?
ඒත් "ටිම්රාන් කවි ලියන කම්කරුවෙක්",  ඒකත් හොඳ මාකටින් පාරක් සාහිත්‍යය  කරළියට එන්න!

සාකච්ඡාව අවසානයේ මම ටිම්රාන් ලඟට ගිහිල්ල කිව්වා
" මට ඔයා ගැන ආඩම්බරයි, ඔයා දිගටම  කවි ලියන්න , ගමේ ඉඳන් කවි ලියන්න , හැබැයි කවදාවත් වෙනස්  වෙන්න නම් එපා කියල."

ඒ  කතාවේ තියනව කුහක කමක්.  ටිම්රාන්ව අපි ගමේ හිර කරනවා, අපිට ඕනේ විදිහට සාහිත්‍ය වින්දනෙට කවි ලියාගන්න.
එයාත් කවි ලියල, පොත් මුද්‍රණය කරලා , කොළඹ සාකච්ඡා වලට එන්නේ , පුවත් පත් වලට ලිපි සපයන්නේ කාලයක් තිස්සේ දවසේ කුලියට කප කපා  හිටිය ළිං  පතුලෙන් ගොඩ එන්න නේද ? ඉහත ප්‍රශ්නය අහන්නේ කවියාමයි.


 මී හරක් නැට්ට අතහැර 

ඇයි යන්න බැරි එගොඩට
 පාලම පැනල කොළඹට  
 ගිය හුඟක් උන් දැන් ගොඩේ ගොඩ

                                             (pg 90,  ඇයි යන්න බැරි එගොඩට) 


අපි සාහිත්‍ය විචාර කරන්න ඉගන ගත්තට අපිට ඔහොම හිතට වදින කවි ලියන්න බැහැ. අපිට ජීවිතයේ එතරම්  අත්දැකීම් නැහැ. ආදරය, සමනළයෝ, මල්වැල්, කුරුල්ලෝ ගැන තමා මම කම්මැලි උනාම ලියන්නේ, ඒවා  කවි නෙමේ, ආසාවට ලියන වාක්‍ය.  අපි  කොළඹින් පිටට යන්නේ ට්‍රිප් , ජීවත් වෙන්නේ කෘතීම ලෝකෙක. අපේ වීරයෝ ශේක්ස්පියර් , වික්ටර් ඉයුගෝ, බෝදලෑර්. ඒ පොරවල් ගැන හදාරපු අපිට , ටිම්රාන් වීරයෙක් වෙන්නේ හුග කාලෙකට පස්සේ නියම  ශ්‍රීලාංකික බවකින් කවියක් ලිව්වා නිසා.  මහගම සේකර, සිරි ගුණසිංහ, රත්න ශ්‍රී ජයතිලක කම්මැල්ලවීර මංජුල වෙඩිවර්ධන  වැනි ප්‍රවීණයන්ට පසුව නූතන කොල්ලෙක් "ඇත්ත " කතා කරන එක වීර කමක්. 

ඔහුගේ කවිවල බලෙන් ඔබ්බපු "කොත්තු , ටුක්ටුක් , පැණි බූන්දි, කොළඹ සන්නි" කතා නැහැ.

ඔහු ලියන්නේ "කොළණි , පෙට්ටි කඩේ මාර්තා , චන්දරේ , සිකුරිටි , ගල්වල , ෆැක්ට්‍රිය , කොට බිත්තියෙන් වට වුන පුංචි පන්ති කාමරය , ජම්බෝල සිරිපාල, කහට, අල්ලාහු අක්බර්!, කිරි ගොවි තැවුල්  ගැන.

ඔහුගේ කවිවල අපූරු හාස්‍ය රසයකුත් තියෙනවා.

කියවන විට ලිවීමට දුන්න
 රෝමය ගිනි ගනී වාක්කිය
සෝමේ ගිනි ගනී යයි 
වරද්දා ලිව්වදා ජම්බෝල සිරි පාල 
රකුසු මුහුනැති සෝමසිරි සර්ටත්
බකස් ගෑවුන 
හරි ජාති සිංහල පීරියඩ් එක " pg 93 

«  » ගන්න « රි « ගන්න  «  » ගන්න ඉගැන්නුවා සංගීත ගුරු තුමී  
(pg 94, අපේ පුංචි පංති කාමරය )

ලිංගිකත්වය පුද්ගල සබදතා එදිනෙදා ජීවිතයේ අංගයක්ම ලෙස ගෙන අපහසුවකින් තොරව , අතිශෝක්තියකින් තොරවද කවියා කතා කර තිබෙනවා.  

සමයවර්ධනගේ හඬ අකුණක්ව පිපුරුණා
ගිනි පුලිඟු ඇස්  දෙකේ පිරිමිකම ඉස්සුණා
     උන්න තැන්  අමතකව මගේ පපුව ගැස්සුණා 
    කමලක්ක  තන පටය හදන් සන්සුන් වුණා "
                                                      (pg 77, ගිනි ගත්  රැයක්) 

ටිම්රාන්ගේ කවි කෙනෙකුට කම්පනයක් ඇති කරනවා. සාහිත්‍යය  චලනයක් ඇති කරනවා කියන්නේ ඒකයි. එය ඉතා සුබවාදී චලනයක්. ඒ අතර භූමි කම්පා වැනි පොත් පත් ඇති කරන්නේ  ලෝක විනාශයක්! ( මාගම් සෝලිය මා කියවපු එවැනි « most controversial » නවකතාවක්!)

යන්නං චන්දරේ ,  අප සමාජයේ පවතින උස පහත් පංති භේදය , සමාජ විෂමතාපොදු ජනතාව පිලිබද සංවේදී වීමට කරන ආරාධනාවක්. 

ප්‍රථම චලනයෙන් අපි මේ කවි පොත් මිලට ගන්නවා. මුදල මත තීරණය වුන සමාජයක සැඟව  යන්නට තිබූ මමිණි කැටයක් වූ ටිම්රාන්, ඔහුගේ ජීවන අත් දැකීම් පොතකට ගේන්නේ මහත් අපහසුතාවයකින්.  අපි එය මිලට ගනිමින් වටිනාකමක් දෙන අතර වෙනදාට වැඩියෙන් සමාජය දෙස සානුකම්පිතව බලන්න උත්සාහ කරනවා.  පාඨකයන් කවි පොත් මිලට ගැනීමෙන් සාධරණීය කරන්නේ ඔහුගේම කවියක් : 

සාම්පල් යෙහෙන් වළඳන 
මිලට ගන්නට නොරිසි දන හට 
කිතුල්  පැණි පවා තිත්තය. 
(pg 41, කිතුල් හකුරු)  

අරමුණු මතම දිවෙන ලෝකයක සාහිත්‍යයට අරමුණක් තිබීම  අත්‍යවශ්‍ය   කරුණක්  ලෙස මම දකින්නේ නැහැ.  "කතුවරයාගේ අරමුණ" ඔහුගේ ජීවන අත් දැකීම් නිරූපණය කිරීම බව මතුපිටින් පෙනී ගියත් මෙම කෘතිය පාඨකයා තුල ඇතිකරන වෙනස සහ සමාජයේ ඇති කල යුතු වෙනස පෙන්වන නිසා    ටිම්රාන් ගේ කෘතිය විශේෂ වෙනවා. කවියා , කෘතිය , පාඨකයා සහ මෙම කෘතිය නොකියවන නමුත් ඔවුන් ගැන කතාකරන සමාජය යන කොටස් සියල්ලම සංතෘප්ත වන බැවින් එය විශේෂ අවස්ථාවක්. 

කාටවත් ලියන්න බැරිවුන ඇත්ත ඔහු පවසා තිබෙන හෙයින් ඔහුට සම්මාන එකක් නොව ගොන්නක්ම ලබා දිය යුතු වෙනවා. 

නමුත් මේ අව්‍යාජත්වය දිගටම  රැක ගන්නේ කෙසේද

කමලක්ක සුදු හාමිනේ ඔහු තව දුරත් හඳුනා ගනීද

බොකුටු කොණ්ඩය වවාගෙන මාල වළලු පටලාගෙන ඔහුත් කොළඹ තව ගංජා පොරක් වෙයිද

ලංකාදීප සාහිත්‍ය අතිරේකයට ඔහු පවසා ඇති පරිදි "විචාරකයන් රැහැයියන්  ලෙස කෑ ගසන විට ඇතිවන කන්දොස්කිරියාව" ඔහුට දරා ගත හැකිවේද

ඔහු ලියූ කවි පද ලියූ පමණින් ඔහුට නොව පාඨකයන්ට ද  අයිති බව ඔහු පිළිගනී විද

ඉහත ප්‍රශ්න හමුවේ මා මේ ලිපිය අවසන් කරන්නේ මාගේ ප්‍රියතම කවියෙනි. 

එහි ඇති අර්ථ හා ශබ්ද රසයේ  සමබරතාවය , සිංහල භාෂාවේ ඇති අපූර්ව සහ අසම සම බව මැනවින් පෙන්වන නූතන භාෂා  රටාව  අනුගමනය කල කවියකි.  කවියා මෙලෙස  අපට අභියෝග කරයි.  


බදාගෙන සඳත් ආයෙම අත්හැරපන් 
පතාගෙන මොකුත් ලැබුවානම් කියපන් 
සදාකල් උනත් බැරි නෑ  නිදි මරපන් 
හදාගෙන ඉඩක් කවි පදයක් ලියපන් 

සදාකල් උනත් බැරි නෑ නිදි මරපන් 
නිදාගත් එවුන් ඇහෙරෙන කවි ලියපන් 
බදාගත් සඳත් රෑ අහසේම තියපන් 
කැකෑරෙන දවල් හැකිනම් සඳ හොයපන් 

                                                     (Pg 64, රෑ  කවියක්)


 නිදා ගත් එවුන් ඇහැරවූ ටිම්රාන් ඔබට ජය!


By Jahooli Devi

Post a Comment