Monday, August 31, 2015

නුවර පෙරහැර Kandy Procession

Advertisement



"නුවර පෙරහැරට ලක්‍ෂ 12ක්!" 

මාත් ගියා නුවර පෙරහැර බලන්න හැබැයි මන් ගියේ පෙරහැර බලන්නම විතරක් නෙමේ , එන සෙනඟත්  බලන්න.
පෙරහැර ගැන ලෝකෙම කතා කරනවා, ෆොටෝ ගන්නවා , පත්තර වල ලියවෙනවා , ඒත් පෙරහැර බලන්න  ආපු  අය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

වැව රවුමින් පටන් ගෙන ක්වීන්ස් හෝටලය හරහා  දළදා මාලිගාව පහු කරගෙන ,  යටි නුවර  වීදිය , ඩී. ඇස්. සේනානායක  වීදිය පාර දෙපැත්තේ  හැම තැනකම  හිටියේ පුදුම සෙනඟක්. 

දවස් ගානක් මහන්සිවෙලා  හම්බ කරපු සල්ලි ඉතුරු කරගෙන, දුර ඈත ගම් වල ඉදන් , පුවක් මල් පොල් මල් ගහපු ටාටා බස් එකේ ගමේ නඩයම පුරවාගෙන ඒගොල්ලෝ ඇවිල්ල තිබ්බේ අවුරුද්දට එක වතාවක්  තියෙන නුවර පෙරහැර බලන්න.  ඔපෙරා සිම්ෆනි නැති ජීවිත වල , කලුවර වැටෙන කොට තාමත් කුප්පි ලාම්පු පත්තු කරන , ෆේස් බූක් , ට්විටර් අප්ඩේට් නැති සරල ගැමි ජීවිත වල අති උත්කර්ෂවත්  අවස්ථාව තමා මේ පෙරහැර. බල්බ් වැල් එල්ලෙන, පාට පාට කොඩි ලෙළ දෙන සුර පුරක් වැනි නුවර සිරි බලන්න ඒගොල්ලන්ට තිබ්බේ පුදුම උද්යෝගයක්. දිව්‍ය  ලෝකේ යන්නත්  ඉස්සෙල්ලා බලාගන්න ආසාවක් !

රතු පාට, කොළ පාට , නිල් පාට ඉටිකොල වලින් තම සීමා මායිම් කරගෙන, පැදුරු කොට්ට බිම දාගෙන  උදේ ඉඳන් ගිනි අව්වේ , ඒ  මදිවට මහා වැස්සත් එක්ක , හැම දෙයකටම ඔරොත්තු දෙන රේන්බෝ කුඩ ඉහලාගෙන ඒගොල්ලන් ආසා වෙන් බලන් හිටියේ රෑ පෙරහැර පටන් ගන්නකම්.   තමන්ගේ ඉඩ වෙන කවුරු හරි ගනීද බයෙන් එහා මෙහා ගියේ බලාගන්නත්  කට්ටියව  තියලා . 

තණ්හාව නැති වෙලාම නැහැ.!

අයිස් ක්‍රීම් නලා හඩවන සද්දේ  , වාහන තදබදේ , වැව  රවුමේ කුරුල්ලන්ගේ සද්දේ  , ජෙනරේටර් වල සද්දේ , ලවුඩ් ස්පීකර් වල බොදු බැති ගී වලින් මගේ ඔලුව පුපුරන්න යනකොට , සමහරු  කිසි ගාණක් නැතිව , හරිම ඉවසිල්ලෙන් කහ පාට බඩ ඉරිඟු කරල් තැම්බෙන හැලිය ලඟට වෙලා දවල්ට කන්න බලන් ඉන්නවා.  සමහරු පොල් කෑලි, මිරිස් කෑලි දාපු  දුම් දාන කඩල ගොටු අරගෙන වල පල්  කතා කර කර  ඉන්නවා.  තේ දන්සලේ  ලොකු වතුර  හැළියක්  කැකෑරී ඉන්නවා රතු පාට කහට තේ වලින් තිබහ නිවන්න.  දන්සල  පරක්කු වුනත්  අවුලක් නැතිව කටු කැරකෙන්නේ නැති ඔරලෝසු බැඳ ගත් කට්ටිය පෝලිමේ කිසිම ගාණක් නැතිව ඉන්නවා.  සමහරු ගෙදරින් ගෙනාපු කෙසෙල් කොලේ බැඳපු බත් මුල් ලිහාගෙන වැව රවුමේ කණ්ඩියේ  බිම ඉද ගෙන   ව රස කර කර කනවා . කබරයෝ, ඉබ්බෝ, දිය කාවෝ, කොක්කු වැවට වැටිච්ච ගස් මුල්  උඩ අව්ව තැප තැප වෙනදාට පාලුවට තියෙන වැව රවුම දිහා පුදුමෙන් බලා ඉන්නවා.



බොරු කොණ්ඩ තොප්පි දා ගත්තු චූටි බබාලා, ප්ලාස්ටික් බෝනික්කෝ ඉල්ලලා අඬනවා. අම්මා මාළුන්ට දාන කියල පොරි පැකට් එකක් දීල නලව ගන්න හදනවා. තාත්තා නිකමට චීන බෝනික්කාගේ ගාණත් අහනවා .  මේ අස්සේ  සෙල්ලම් කාර්, අහස්යානා , පුළුන් පුරෝපු  වලස්සු, ප්ලාස්ටික් මල් පොකුරු, එළවලු කපන උපකරණ, සිංහල හෝඩී , මැටි වළන් උණු කැවූම් වගේ විකිනෙනවා.


රුපියල් විස්සක් දීලා මම අරන් දුන්නා අයිස් ක්‍රීම් එකක් වයසක ආතා කෙනෙකුට. මම කන අයිස් ක්‍රීම් එක දිහා බලල ඒ සීයා එයාගේ එකම දත පෙන්නලා හිනාවුනා. දත හොලව හොලව හිනා වුනා. මටත් හොඳටම හිනා ගියා. "නෝනා ආවද  පෙරහැර බලන්න ? " නෝනා කිව්වා ගමන් මටත් ජොලියක් ගිහින් එයාට චොකලට්  අයිස් ක්‍රීම් එකක් අරන් දුන්නා. බුලත් විට කාපු රතු පාට දිව දික් කරලා පුරුදු නැති අයිස් ක්‍රීම් රස කර කර කන්න ගිහින් එයාගේ අයිස් ක්‍රීම් එක අව්වට දියවෙලා සුදු කමිසේට වැටුණා. මෙන්න මෙයා  හිනා වෙවී ඒකත් ලෙවකන්න පටන් ගත්ත!


කළුවර වැටුණ. මාලිගාව පෙරහැරට ලෑස්තියි.
හැමෝම නොසන්සුන්. කීයටද පටන් ගන්නේ, කෝ තාම නෑනේ ??  දැන් එයිද? ප්‍රශ්නයක්වත්ද ?

වෙඩිල්ලක් පත්තු උණා ,  හුස්ම මදකට නතර වුණා. හැමෝගෙම මුහුණේ සතුට.  නැතිවුණු බලාපොරුත්තු නැවත ඇති වුණා.   


මන් හිටියේ Banda's Boot works සපත්තු කඩේ පුටුවක , නුවර පිරිමි ළමයි ගොඩාක් එක්ක!  මගේ එහා පැත්තේ බිම දෙමළ කට්ටියක්  වාඩිවෙලා හිටියා , වී අයි පී කට්ටිය  සදළු  තලේ හිටියා.  සුද්දෝ තඩි කැමරා  උස්සගෙන  හිටගෙන හිටියා. 

ශ්‍රද්ධාවත්, භක්තියත් , ජොලියත් පිරි පෙරහැර වෙනම ලෝකයක් වගේ. ඒ ලෝකයේ එක එක්කෙනා වෙන වෙනම එහි රසේ වින්දා.
හැබැයි නියම රසේ වින්දේ පොළවට කිට්ටු බිමම  වාඩිවෙලා හිටි අය.

පුටු කට්ටියත්, වී අයි පී කට්ටියත්, TV වලින් බලපු අයත් " පෙරහැරට "  හරි දුරයි.  


කොප්පරා වල ගිනි රස්නේ ඒගොල්ලන්ගේ මූණු වෙනදාට  වැඩියෙන් එලි කළා.
කස කාරයෝ පොලව තලන රළු හඬ  ඒගොල්ලන් සැබෑවටම වින්දා. 
බෙර හඬට හොරණේ  හඬට  තාර පොළොවේ රටාවට පාද තියෙන  නැට්ටුකාරයන්ගේ කලාව ඔවුන් දැක්කා. 
පාට රෙදි පොරවා  බල්බ් වලින් එලිය කල සද්දන්ත අලි ඇතුන්ගේ දම්වැල් වල බර ඔවුන්ටත් දැනුණා. 
නිළමේ වරුන්ගේ තඩි බඩ  ගෙඩි  දැක පුදුමෙටත් පත් වුනා.  
ඉඟුරු තේ බිබී , සාර විට කකා  මුළු රෑම නිදි වරාගෙන  ඒගොල්ලන් මේ පෙරහැර ඉවර වෙනකන්ම බැලුවා. 


ලබන පාරවත් බිම ඉඳ  ගන්න පුලුවන්නම්!
  

By Jahooli Devi


Post a Comment