Advertisement
සියාතු උන්නැහැට හැමදාම වැස්සියන්ගෙන් කරදර !
හැමදාම උන් නැති වෙන්නේ එකම විදිහට. උදේ ඇහැරිලා බලද්දී , උන් ගාල කඩා ගෙන කන්ද උඩට ගිහින් කපටි කොටියට බිලි වෙනවා.
උන්නැහැ කොච්චර අත පත ගාල නාවල කන්න බොන්න දීල තියා ගත්තත් උන්ව පරිස්සමෙන් තියා ගන්න බැරි වුණා.
ටික දවසක ඉදන් වැස්සිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙන බව සියාතු උන්නැහැට තේරුණා. කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ ඔහේ බලන් ඉන්නවා. දවසක් උදේ කිරි දොවල ඉවර වුනු ගමන් වැස්සි එය දිහාට හැරිලා මෙහෙම කිව්වා.
" සියාතු උන්නැහැ, මට මේ ගෙදර ඉදල එපා වෙලා තියෙන්නේ, මටත් යන්න ඕනේ කන්ද උඩට"
" හත් ඉලව්වයි , මෙන්න මේකිටත් ඕනේ වෙලා යන්න " සියාතු උන්නැහැට කෑගැහුණා . පුන්නක්කු කූඩේ වීසි කරපු එයා , තණ කොළ ගොඩේ ඉද ගත්තා.
" මොනවා මගේ සුද්දී , උඹටත් ඕනේ මාව දාල යන්න?"
" ඔව් , සියාතු උන්නැහේ " සුද්දී ගානක් නැතිව උත්තර දුන්නා.
"ඇයි උඹට මෙහෙ තණකොළ මදිද ?
" ආ , ඒකම නෙමේ "
" එහෙනම් උඹව බැදලා තියෙන කඹේ දිග මදි ඇති . මන් ඒකත් දික් කරන්නම් කෝ"
" වැඩක් නෑ , සියාතු උන්නැහේ "
" එහෙනම් හත් දෙයයනේ තව මොනවද ? කියපන් උඹට ඕනේ තව මොනවද ?
" මට කන්ද උඩටයි යන්නේ ඕනේ, සියාතු උන්නැහේ"
" ඇයියෝ මෝඩ වැස්සියේ , කන්ද උඩ කොටියා ඉන්න බව උඹ දන්නේ නැද්ද ? ඌ ආවොත් මොකද කරන්නේ?"
"මං අං දෙකෙන් අනිනවා ඌට , සියාතු උන්නැහේ"
" කොටියට උඹේ අං දෙක දැක්කම හිනා යයි. උඹට වැඩිය අං තිබ්බ වැස්සියොත් ඌ කොහොම හරි බිල්ලට ගත්ත. ඇයි මතක නැද්ද ගිය අවුරුද්දේ මෙහෙ හිටිය රත්තී ? ආන්න ෂෝක් නාඹර වැස්සි. ගොන් වස්සෙක් තරමටම නපුරුයි.
ඒකී මුළු රෑම කොටිය එක්ක හටන් කරලා , උදේ මළා.
"අනේ පව් නේද රත්තී ? මට නං මුකුත් වෙන්නේ නැහැ , යන්න දෙන්න මට කන්ද උඩට"
"හපොයි , මේ විදිහට ඔක්කොම එළ දෙන්නු ටික නැතිකරගන්න බැහැ , කොටියා මේකිටත් වැඩේ දෙයි.
නෑ නෑ නෑ කොහෙවත් යන්නේ නැහැ. උඹ අකමැති උනත් මන් කොහොම හරි පරිස්සම් කර ගන්නවා , කඹේ කඩාගෙන යන්න දෙන්නේ නැහැ, මඩුව ඇතුලට දාල වහල තියන්නේ ඕනේ හැමදාම , මෙහෙ වරෙන් !"
සියාතු උන්නැහේ අමාරුවෙන් වැස්සිව ඇදගෙන ගිහින් මඩුවට දාලා දොර වහල ඉබි යතුරු දැම්මා
අවාසනාවක මහත! පිටි පස්සේ දොර වහන්න අමතක වුණා . සියාතු උන්නැහේ එහා මෙහා වුණා විතරයි වැස්සි එළියට පැන ගත්තා.
එදා තමා සුද්දීගේ ජීවිතේ සතුටුම දවස ! පුදුම නිදහසක් !
ඉබා ගාතේ ඔහේ ඇවිදගෙන යනකොට , සරුවට වැවිච්ච තණ කොළ කකා හිටපු මී හරක් රංචුවකුත් හම්බ වුණා. සුද්දීගේ ලස්සන දැකල ඒගොල්ලන් පිස්සු වැටුණ. හොදම තණකොළ කන්න දීල හොඳටම සැලකුවා.
හවස් වෙද්දී ටිකෙන් ටික මීදුම වැටෙන්න පටන් ගෙන කන්ද උඩට කළුවර වැටුනා.
"මෙච්චර ඉක්මනට?" පුදුම වෙලා එය පොඩ්ඩක් නතර වුණා. පහල ගම්මානේ ඔක්කොම මීදුමෙන් වට වෙලා. සියාතු උන්නැහැගේ ගොවි පලත් මීදුමට වැහිලා ගිහිල්ල, වහලේ විතරයි පෙනුනේ. ඈතින් ගෙදර දක්කගෙන යන හරක් ගෙ ගෙජ්ජි හඬ ඇහුන. සුද්දිට එක පාරටම ඇඬුණා . තඩි වවුල්ලු එහෙ මෙහා පියාඹනකොට මූසල බස්සෙක් හ්ම්ම් හ්ම්ම් ගෑවා . සුද්දී වෙව්ලල ගියා. එක පාරටම කන්ද උඩින් ගොරවන සද්දයක් ආවා.
ග්ර්ර් ග්ර්ර්ර්
"ආපහු වරෙන් , ආපහු වරෙන් " පල්ලෙහා කටිටිය අනතුරු ඇගෙව්වා.
සුද්දිට ආපහු ගෙදර යන්න හිතුණා , කඹෙයි , කළුවර මඩුවයි , රස පුන්නක්කුයි මතක් වුණා . එත් ඒ ජීවිතේ ආපහු ලබා ගන්න ඕනේ නැහැ , බැඳ ගත්ත බෙරේ දැන් ගහන්න ඕනේ.
කපටි කොටියා පස්ස ගාත් දෙකෙන් වාඩිවෙලා සුද්දී දිහා කෙළ පෙර පෙරා කන්න වගේ බලා හිටියා. කොහොමත් බිල්ලක් වෙන හින්දා කොටියට හදිසියක් තිබ්බේ නැහැ කඩන් පැනල බෙල්ලෙන් අල්ලන්න.
සුද්දී හැරුණ ගමන් කොටියට හිනා ගියා.
"හා හා හා සියාතු උන්නැහේගේ තවත් හුරතල් වැස්සියෙක් ! " රතු පාට දිව දික් කරලා කොටියා වැක්කෙරෙන කෙළ ගිල්ල.
සුද්දී අතරමං වුනා වගේ. එයාට එක පාරටම රත්තිගේ අවාසනාවන්ත කතාව මතක් වුණා. උදේ වෙනකන් ඉඳල මැරෙන්න ඕනේ නැහැ දැන්ම මැරිලා යන එක නම්බුවක්. එක පාරටම සුද්දී ඔලුව පාත් කරගෙන අං දෙක ඉස්සරහට දාගෙන නිර්භීතව ඉස්සහරට පැන්න. එයාට කොටියව මරන්න ඕනේ උනේ නෑ . කවදද අනේ වැස්සියෝ කොටියෝ මැරුවේ!?
එයාට ඕන උනේ රත්ති වගේ කොචර වෙලා සටන් කරන්න පුලුවන්ද කියල බලන්න.
අං දෙක දෙපැත්තට වන වන සුද්දී ආවේශයෙන් නැටුමකට වගේ ඉස්සරහටම ට පැන්නා . මන් මේ බොරු කියනව නෙමේ, කොටියාටත් වැඩේ ලේසි උනේ නැහැ. දෙතුන් පාරක්ම හතිය වැඩිවෙලා ඌත් පැත්තකට උණා. පොඩි විවේක කාලෙදී සුද්දී තැනක කොළ අහුරකුත් උලා කාල ශක්තිය අරන් කට පුරවගෙන ආපහු හටනට ආව.
මුළු රෑම මෙහෙම පොර කකා ගෙවිල ගියා.
සුද්දී රෑ අහසේ තරු දිහා බලල සුසුම් ලෑවා. " අනේ උදේ වෙනකම්වත් මෙහෙම ඉන්න පුලුවන්නම්!"
එකින් එක තරු කැට නිවිලා ගියා . සුද්දී තවත් හයියෙන් අං දෙකෙන් ඇන්න එතකොට කොටිය තවත් හය්යෙන් හපා කෑවා.
පහු වෙනිදා වෙනද වගේම ඉර පෑව්වා , කුකුල්ලුත් හැඬලුව .
" ඉවරයි , ඔක්කොම!" අසරණ සුද්දී ලේ පෙර පෙර බිම දිගා වුණා . එක පාරටම පැන්න කොටියා සියාතු උන්නැහේගේ වැස්සිව ගිලලම දැම්මා.
Translated by Jahooli Devi
Adaptation of the French short story " La chèvre de M.Seguin" by Alphonse Daudet
No comments:
Post a Comment