Sunday, December 27, 2015

නුවරඑළියෙ ටජ් මහලක් හදමු රත්තරං!

Advertisement

"දේ කා හේ  පෙහෙලි බාර්

සාජන් කී ආන්කෝ මේ පෙයාර්"

තරුණ කඩවසම් සල්මාන් ඛාන් , උද්‍යානයේ තනියම නර්තනයේ යෙදෙන අතිශය රූමත් මදුරි ඩික්සිත් වෙත දිවගෙන එයි.

ඔවුහු ගස් වටේ දුවති , අත්  අල්ලා ගෙන දුවති, සින්දු කියති,  දුව දුවා නටති,  නට නටා දුවති. බිම පෙරළෙති, නැවත නැගිට බදා ගෙන නටති .

මීදුමින් වැසුණු නිල්වන් කඳු පෙළ , දසත පැතිරුණු හරිත පැහැ තේ වතු  , සුගන්දවත් මල් පොකුරු , හදවතේ රිද්මයට වැයෙන සංගීතයට  ගායන කරන අල්කා යාග්නික් සහ බාලසුබ්‍රමනියම්.

මේ සියල්ල එක වූ තැන අනූව දශකයේ අති  සාර්ථක  හින්දි සිනමා නිර්මාණයක් වූ සාජන් චිත්‍රපටියේ මේ ගීතය  සිනමා ලෝලී තරුණ රසිකයෝ  තදින් ම වැළඳ ගනිති.

බොහෝ දෙනෙකු නොදන්නා කාරණය වන්නේ මෙම සිනමා පටයේ කතා වස්තුව ප්‍රංශ ජාතික කවියෙක් හා නාට්‍ය කරුවක් වූ එඩ්මන් රෝස්ටන් විසින් 1897 දී රචනා කල  ලෝක ප්‍රසිද්ධ Cyrano de Bergerac නම් වේදිකා නාට්‍යයෙන් බොහෝ දුරට ආභාෂය ගෙන ඇති බවයි.


 ප්‍රංශ හමුදාවේ කඩු හරඹ වලට දක්ෂ , කවි ලිවීමට ඇති දක්ෂ නමුත් දිග නහයක් ඇති නිසා විරූපී යැයි සිතා ළතවුන Cyrano de Bergerac ,  
සුරූපී  Roxanne , අහංකාර Christain ගේ තුන් කොන් ආදර අන්දරය  කාල සීමාවන් , දේශ සීමාවන් , සත් සමුදුරු තරණය කර ඉන්දියාවට පැමිණෙන විට  පොහොසත්, කඩවසම් ආකාශ් ( සල්මාන් ඛාන්)
කවි ලිවීමට උපන් හැකියා ඇති අනාථ අමාන් ( සංජය දත් )
කවි අගය කරන රසිකාවියක් වූ පූජා සක්සේනාගේ (මදුරි ඩික්සිත්) ආදර අන්දරය බවට පත් වෙයි.

එය උප මහද්වීපයෙන් ශ්‍රී ලංකා දූපතට ගොඩ බසින්නේ  තවත් විශිෂ්ට ගීත නිර්මාණයක් සමගිනි. 

මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරන ලද විශාරද නන්දා මාලිනි   ගායනා කරන "යනවානම් අනේ මං අරන්  යන තැනකට යන්න රත්තරන් ගීතය"  නිර්මාණය වන්නේ සාජන් චිත්‍රපටියේ ඉහත ගීතයේ සමාන තනුවකටයි. 

"යනවානං අනේ මං අරං
යන තැනකට යන්න රත්තරං
හිඟා කකා කොළපතක් අරං
ලුණුයි බතුයි කමුකො රත්තරං

සීත හිමේ කඳු පාමුල හින්දි සින්දුවක් කිය කිය
හිඟාන ආ ලුණුයි බතුයි කමුකො රත්තරං
ඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරං

සතය සතය එකතු කරල රහසේ කැටයකට දමල
නුවරඑළියෙ ටජ් මහලක් හදමු රත්තරං
සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං"

සාජන් , Cyrano de Bergerac, යනවා නම්  අනේ මන් අරන්  , නාටකය , චිත්‍රපටය, ගීතය කලාවන් තුන ගැනම කතා කිරීමට ඇති අවකාශය තුලනාත්මක  සාහිත්‍යයයයි
( Comparative Literature) .

නාට්‍ය පිට පත , චිත්‍රපට පිටපතට පරිවර්තනය වීමත් , එය ගීතයක පදවැල් හා සංගීතය බවට පරිවර්තනය වීමත් , එතුලින් තව තවත් නිර්මාණ බිහි වීම තුල පෙන්වන්නේ කලාව තුල ඇති උත්පාදන ශක්තියයි. එමෙන්ම කලාව තුල උස්  පහත් බේදයක් ඇති කිරීම සුදුසු නැත. 

සම්භාව්‍ය ගීතයෙන් ඔබ්බට ගිය පද මාලාවක් සරසවි ඇදුරෙක් විසින් නිර්මාණය කිරීම නිසා එය අප සමාජයේ විවේචනයට ලක් වූයේ ගීත රචකයාගේ අරමුණ සාමාන්‍ය ජනතාවට නොවැටහුණ බැවින් බව සමහරු පැවසූහ

මෙය ශ්‍රවණය කල අනූව දශකෙයේ බිහිවූ ආදරවන්තයෝ කැට වලට ඇත්තටම  සල්ලි එකතු කරන්නට වූහ.

ලුණු බතුයි කන්න ලෑස්ති වී හොර රහසේ පැන ගොස්  ටජ් මහල් කෙසේ වෙතත් ටකරන් මඩුවල ජීවත් වූහ.

දුන්හිද දිය ඇල්ල ආදර වන්තයන්ගේ තෝතැන්නක් බවට පත් කළහ . ඒ අසල පෙට්ටි කඩ ගොඩ නැගී හකුරු බෙලිමල් ව්‍යාපාරයද සාර්ථක කළහ.

හානි මූන් යාමට ලංකාවේ සුදුසුම තැන නුවර එළිය බවට පත් කළහ.

මෙය දුටු දෙමව්පියෝ ගෙදර කෙල්ලන් පැන යතයි බියෙන් හින්දි සින්දු කීම , හින්දි චිත්‍ර පටි බැලීම් තහනම් කළහ.




ආදරය කරනවිට කරන ගොන් වැඩ කෙලින් නොකියා ගීතයක් තුලින් කලා නිර්මාණයක් තුලින් වක්‍රාකාරයෙන්  සමාජ ගත කිරීමට උත්සාහ කල මේ බුද්ධිමත් සුසංයෝගයට නිකරුණේ බැණුම් ඇසීමටද සිදුවිය.

සාමාන්‍ය ගීතයට එරෙහි  "සම්භාව්‍ය ගීතයක්"  ලංකාවේ නිර්මාණය වීමට හේතුව සිංහල භාෂාවේ ඇති ද්විරූපතාව හෙවත් කතා කරන හා ලියන බස වෙනස් වීම හේතුවකි.    

එකම පුද්ගලයා විසින් ලියූ  " යනවානං අනේ මං අරං යන තැනකට යන්න රත්තරං" අප්‍රිය වීමටත් « ප්‍රේමය නම්, රාගයෙන් තොර  සඳ එළිය සේ අචින්ත්‍යයි »  ප්‍රිය වීමටත් මෙයට බලපා ඇත.  

කතා කරන බස කතා කරන සමාජය ද නිරූපණය කරයි. « ආදරය » ශ්‍රී ලාංකික සමාජය තුල තහනම් වචනයකි. « ප්‍රේමය » අවසරලත් උතුම් වචනයකි !    

මෙලෙස සාධාරණීකරණය කිරීම තුල අජිත් මුතුකුමාරණ , නන්දා මාලිනී , අමරදේව , අජිත් කුමාරසිරි යන සෑම දෙනාටම  රිසි සේ  artist  ලේබලය අලවාගත හැක.  මේ සියලු දෙනාටම විවිධාකාර රසිකයන් පිරිසක් සිටිති. එය අමිහිරි වුණත් මිහිරි ලෙස පිළිගත යුතුය. 

මන්ද , කලාව යනු,
සමාජ සංස්කෘතික භාෂා සියලු බැමි වලින් මිදී ජනතාවගේ පාට පාට රොමෑන්ටික් සිහින , සිතුම් පැතුම් නිරූපණ කිරීමට ඇති එකම නිදහස් අවකාශය වන බැවිණි. 


By Jahooli Devi



   





Post a Comment