Wednesday, September 29, 2021

තෑග්ග - The Prize Short story

Advertisement

                                                                     තෑග්ග




- "ලබන මස සමිති සභා වාරයේදී  මේ දරුවාට විශේෂ ත්‍යාගයක්‌  ලබා දෙන්න මම යෝජනා කරනවා "

දහම් පාසලේ ලොකු සර්ගේ මේ වචන ටික ඇහෙද්දී මගේ මූණ රතු වුණත් පොඩි ආඩම්බරයක් දැනුණා

එදා දහම් දැනුම මිනුම තරඟයේ  අක්කලා අයියාලට දෙන්න බැරි උත්තර, සභාවේ කොණක වාඩිවෙලා හිටිය මම පැනලා උත්තර දුන්නා. මට  බුද්ධාගම පෙළ පොත්  කට පාඩම්.

බුදුරාජාණන් වහන්සේ පරිනිර්වාණය කලේ කුමන ස්ථානයේද?

 

- " ජේතවනාරාමයේ "

 

" උත්තරය වැරදියි. අනිත් පෙලේ කෙනෙක්ට අවස්ථාව "

 

"විසාලා මහනුවර "

 

" උත්තරය වැරදියි".

 

මේ වගේ පොඩි ප්‍රශ්නයකටත් උත්තර දෙන්න බැරි මෝඩ ළමයි. ළමා සාරිය බාගෙට ගැලවිලා තිබුනත් මම ටක් ගාලා නැගිට්ටා. කවුරුත් මගෙන්  ඇහුවේ නැහැ උත්තරේ.

 

"උපවත්තන සල් උයනේ "

 

" උත්තරය නිවැරදියි".

 

මේ වගේ උත්තර ගොඩායි . උත්තර දන්නා ප්‍රශ්න අහද්දී මගේ ඇස් දිළිසුණා. බංකුවෙන්  නැගිටින්නේ  නැතුව  හිටියේ අමාරුවෙන් . අනිත් අයට බැරි වෙනකම් මං හිටියේ ආසාවෙන්.

 

ගමේ  ගෑනු ළමයි මා දිහා විස්මයෙන් බලන් හිටියා . කොල්ලෝ හිනා වුණා.

 

තෑග්ග ගන්න තව මාසයක් ඉන්න ඕනෑ. එතකන් ඉන්නත් බෑ වගේ .

හැම ඉරිදාවකම මං  දහම් පාසල් යන්නේ  පුදුම  ආශාවකින් .ඉරිදා උදේම නැගිටිනවා, අල්ලපු ගෙදර මගේ වයසේ ළමයි දෙතුන් දෙනෙක් එක්ක ගමේ සොහොන් පිට්ටනියට යනවා වතු සුදු මල් කඩන්න . පොලෙන් ගෙනාපු ලොකු කහ පාට වට්ටිය පිරෙන්නම වතු සුදු මල් , කහ මල් කඩනවා , මිනී මල් හැර . පින්න වැටුණු තණකොළ පගා පාගා, කටුත් ඇණගෙන, ඇස්වල  කබත් කඩ කඩා, පිස්සුවෙන් මල් හොයන්නේ , හොඳම මල් වට්ටි වලට ලකුණු  දෙන නිසා . ලඟදි වල දාපු මිනී වලවල් ළඟ මල් කඩන්නේ නැහැ  පව් සිද්ද වෙන නිසා . අනිත් මල් ගස් ටික ඉවර වෙනකනම  අපි තරඟෙට   මල් කඩනවා . කොල්ලොන්ට මේ වැඩේ  ඉක්මනට කරන්න  පුළුවන්  නිසා උන්ගේ මල් වට්ටි ඉක්මනට පිරෙනවා. මල් නැති වෙයි කියලා බයෙන් මම  සෙනසුරාදාම වටේ පිටේ  තියෙන මල් කඩලා ‍ ෆ්රිජ් එකේ  දාන්න පුරුදු වුණා . පොඩ්ඩක් මැලවුනත් ඒවා යටින් දාන්න පුළුවන්.

 

මල් වට්ටියට ලකුණු දෙන්නේ රන්ජිත් සර් . දහයෙන් දහයයි.  දහයෙන් නමයයි.

"මේ මල් ටික පොඩ්ඩක් පර වෙලා වගේ ."  

"පොඩ්ඩක් පිළිවෙල මදි " . 

" බලන්න සචිනිගේ වට්ටිය දිහා, පිළිවෙලයි. "

නමය හම්බ වුන දාට මම  මල් එක්ක තරහයි.  ඔහේ ඕනේවාට එපාවට මල් ටික බුදු ගෙට විසි කරලා මම ගාථ පෝලිමට එන්නේ මූණ බෙරි කරන්. හිස් වට්ටිය කහ පාට මූණ ඇද කර කර මාව තවත් අවුස්සනවා.


ඊට පස්සේ  ගාථ කියන්න පෝලිමේ ඉන්න ඕනේ. උදේ අව්වත් සැරයි . හිට ගෙන ඉන්නත් ආස නැහැ .

 

හැම දාම මම හිට ගන්නේ නිසංසලාගේ පිටි පස්සේ . නිසංසලාගේ  කොණ්ඩේ   දිගයි. මගේ කොණ්ඩේ  කපලා. එයා කොණ්ඩේ දෙකට මැදින් බෙදලා  පීරලා පොල් තෙල් ගාල තද වෙන්න කරල් දෙකක් ගොතලා . කොණ්ඩ කරල් දෙක පිට දිගේම . ගාථා පටන් ගෙන ටික වෙලාවක් යද්දී අවු රස්නේ ඔලුවට තදට  වැදෙනවානිසංසලා දොහොත් මුදුන් දීගෙන වැන්දගෙන  ඉන්නවා. එයාගේ ඔලුවෙන් ටික ටික උකුණෝ එළියට බහිනවාබඩ  තඩි  තඩි , සුදු පොල් කුඩු ඇල්මෝ , හීනි පොත්තෝ පිරිච්ච කෙස්ගස් අතරින් පෝලිමට පෙරහැරක් යනවා. හිස් මුදුනින් පටන් ගෙන බෙල්ල දිගේ මැදින් බෙදුණු පාරේ සීරුවට පිට දිගේ උන් පල්ලම් බහිනවා . සුදු ළමා සාරියටත් හරියට උන්ට පාවාඩ  එලලා වගේපාණාති පාතා කෑල්ල හාමුදුරුවෝ හයියෙන්  මයික් එකෙන් කියද්දී මගේ අත නලියනවා . උකුණු පෙරහෙරට බෙර ගහන නැට්ටුවා මන්, මට හුස්ම ගන්නටත් බෑ වගේබෙර හඬින් ආවේස වෙච්ච මට , නිසංසලාගේ ඔලුවට පැනලා උකුණෝ බිඳින්න ආසාවක් ඇති වෙනවා. ලේ පිරුණු කළු තඩියෙක් අල්ලලා , දිලිසෙන නියපොත්ත උඩ තියලා, තව නිය පොත්තකින් චිරිස් කියලා බිදින්න මුලූ  සර්වාංගයම නලියනවාමගේ බෙර පදයට අවනත නොවුනු උකුණෝ, සී සී කඩ විසිරිලා මට විරිත්තනවා . ලගම හිටියත් මට අනුන්ගේ  උකුණෝ අල්ලන්න අවසර නැහැ. බෙරේ පාළුවක් ගිය වාගේ  හිතා ගන්න බැරි දුකක් හිතට දැනෙනවාතඩි මැවී මැවී මගේ ඇස නිලංකාර වෙලා අවු රස්නෙට කලන්තේ දානවා සමහර දාට.

 

කලන්තේ නොදාපු දවස් වලට , කරණීය මෙත්ත සූත්‍රය  කියනකන්ම ඉන්න වෙනවා. යන්තන් සන්තන්  කියා ගෙන  අප්පාකිච්චෝ  හරියට පොල් කිච්චෝ වගේ පහු කරන් . මහා ජරා කෑල්ලක් එනවා " සල්ල හුක වුත්තී " . කොච්චර උත්සාහ කලත් මට මේ කෑල්ලෙදි හිර වෙනවා. ලජ්ජාවෙන් ඇඹරෙන්න හිතෙනවා. පහල ගෙදර රණ්ඩු වෙද්දී ඇහෙන වචනමයි. මේ කෑල්ල කියද්දී මම කාගේවත් ඇස් දිහා බලන්න කැමති නැහැ. ලොකු හාමුදුරුවන්ටත් මේක ළමයි ඉස්සරහ මහා හයියෙන්  කියන්න ලජ්ජා නැති හැටි.

 

ඊට පස්සේ අපි , ලී බංකු උඩ වාඩි වෙලා,  බුද්ධ චරිතය, චතුරාර්ය සත්යය වගේ දේවල් අහන් ඉන්නවා. ඉස්කොලේදීත් මේ පාඩම් කරලා තියෙන නිසා  මායි  සචිනියි , පොත් පිටි පස්සේ කොටු කපනවා , රූප අඳිනවා. පන්සලේ ගෙඩි පිරුණු අඹ ගහ දිහා බලන් ඉන්නවා. වැලි පොලොව දිහා බලන් ඉන්නවා. විවේක කාලේ ආවම , කූනිස්සෝ දාල හදපු සම්බෝල පාන් කාල , නස නාරන් බීම බෝතෙලේ කට තියලම බොනවා. ලොකු හාමුදුරුවෝ සමහර දාට අපිට දානෙට හම්බ වුනු ලෙමන් පෆ් බිස්කට් පැකට් එකක් , මාරි පැකට් එකක් එහෙමත් දෙනවා.  ඉතින් නිකන් කෑම  ලැබෙද්දී හරිම විනෝදයි. දවසක මහණ වෙන්නත් හිතෙනවා. හැබයි රෑට කන්න හම්බ වෙන්නේ නැති කතාවක් පොඩි සාදු කිව්වා නිසා එකත් කරන්න වෙන්නේ නැති පාටයි.

 

"අම්මේ , දහම් පාසලේ සර් කිව්වා මට විශේෂ තෑග්ගක් දෙනවා කියල " . කෑගහලම කිව්වේ අක්කලටත් ඇහෙන්නම.

අම්මා ලාවට හිනා වුණා .

 

ගිය මාසේ මේ කතාව කිව්වා වෙලේ ඉඳන්, මට හරියට නින්ද ගියෙත්  නැහැ . අද තමා  සමිතියේ  දවස.  අද මල් කඩන්න සොහොනට යන්න ඕනේ නෑ, පරක්කු වෙයි.

 වෙනදට හරියට මදින්නේ  නැති ළමා සාරිය , අම්මටම කියල හොඳටම මද්ද ගත්ත.  රැල්ලේ නිල් පැල්ලමක් . අම්ම මේවා හෝදන්නවත් දන්නේ නැහැ හරියට.  වතුර දදා  එක දැන් මකන්න හදනව!

 

"පරක්කු වෙනවා මට ". තාත්තා වගේම මම අම්මට අණ කලා.

 

අම්ම   අස්සේ රත්තරන් චේන් එකකුත් කරට දැම්මේ උත්සවක් තියෙනවානම් බෙල්ලේ පාලුවට කියල.

 

සමිති පටන් ගන්න  සීනුව ගැහුවා. ළමයි කඩියෝ වගේ,  බණ මඩුවට බංකු   උස්සන් ආව. ඉස්සරහ මෙසේ උඩ , බ්‍රවුන්   පේපර්  වලින් ඔතපු තෑගී ලස්සනට පිළිවෙලට තියල. මොනවද දන්නේ නෑ  තෑගී වලට තියෙන්නේ ? බුදු පිළිමයක්? බණ පොත්? රූල් පොත් ? පාට පෙට්ටි?

 

මං  හතර වසරේ ළමයි ඉන්න කොටසේ ඉස්සහරෙන්ම වාඩි වුණේ නම කිව්වම  යන්න ලේසි නිසා. නානා විධි පිළිගැනීම් කතා, කවි ගායනා , බණ කතා  . අද  මට මේවා ගැන සිහියක් නැහැ  . වෙලාව කනව විතරයි. තෑගී ගොඩ මන් දිහා බලන් ඉන්නවා, මන් තෑගී ගොඩ දිහා බලන් ඉන්නවා. ඉතින් මෙතනින් එක තෑග්ගක් මට තෝරාගන්න තමා තියෙන්නේ . ඔක්කොම ගෙනියන්න බෑනෙ.  පොත් හම්බ වුනොත්, පොත් දෙකක් අක්කල ටත් දෙනවා, ඔක්කොම පොත් වල ලියන්න බෑනේ. තාත්තා ටත් ගණන් මිනුම්  ලියන්න  එක පොතක් දෙන්න ඕනේ.  මල් වාස් එකක් නම් ඉතින් අම්මට තමයි. මට නම් මෙලෝ වැඩක් නැහැ. බර තෑග්ග මට නම් උස්සන් යන්නේ කොහොමද . මන් ගැන හිතුවෙම නෑනෙ.  ඉස්කෝලේ  නම් තෑගී දෙද්දී ෆොටෝ ගහනවා. ගමේ පන්සලේ ඉතින් කවුද ඕව කරන්නේ. අපරාදේ!

 

" අවසාන වශයෙන් යෙදිල තියෙන්නේ ගිය සතියේ දහම් දැනුම තරඟයේ  ජයග්‍රාහිකයන්ට  තෑගී බෙදෙල දෙන්න "

 

"නුවන්ති  - හත වසර , සමන් - අට වසර  , චන්දිමා - දහය වසර , නිශාන් - නමය වසර. .."

අප්පුඩි අස්සෙ  මට හීනෙන් වගේ මේ නම් ඇහෙනවා. තෑගී මේසේත් වේගෙන් හිස් වේගෙන යනවා. මගේ නම් දැන් කියවෙන්න යන්නේ. පපුවත්  ඩිග් ඩිග්  ගානවා. කකුලුත් වෙවුලනවා වගේ.

නම කියද්දී වැඩිය හිනා වෙන්න හොඳ නැහැ. මේක  ක්රිකට් ලෝක කුසලානේ නෙමේනේ.  තෑග්ග ගන්නවා, වඳිනවා,  බිම බලා ගෙනම එනවා, , මන් මන්තරයක් වගේ මටම මුමුනන්න ගත්තා.  ළමා සාරිය පැටලුනොත් විලි ලැජ්ජාව. තෑගී ටික බෙදිලා ඉවරයි, අන්තිම තෑග්ග මෙසේ උඩ.

දැන් මගේ වාරේ වෙන්න ඕනේ විශේෂ ත්‍යාගය.

 

ලොකු සර් මයික් එක ගත්තා .

 

" අද දින ත්‍යාග ලබාගත් සියලුම දෙනා ඇති දක්ෂයින්. ඔවුන් දැනුම මිනුම තරඟයට අති සාර්තකව මුහුණ දී ජයග්රහණය කල නිසා , මගේ උණුසුම් සුබ පැතුම් " . ඊළඟ සමිති වාරයේ හමු වෙමු . දැන් ජාතික ගීය සදහා නැගී සිටින්න."

 

ජාතික ගීය ලවුඩ් ස්පීකරයේ මොර දෙන්න ගත්තා. අනිත් ළමයි එක්ක මටත් බැංකුවෙන් නැගිට්ටුනා. කෙළ වේලිලා, උගුරේ බෝලයක්  හිර වෙලා වගේ.  කොච්චර කිව්වත් සද්දේ පිට වෙන්නේ නැහැ. ඇස්  බොඳ වෙලා , මට කඳුළු නතර කරන්ගන්නත් බෑ . පොඩි ඉකියක් එනවා වගේ. තොල විකාගෙන , පොඩි ළමයින්ගේ පෝලිමේ ඉඳන්, ලොකු වසරවල උත්තර නොදුන් මෝඩ රැල  දිහා මන්  මරු විකල්ලෙන් බැලුවා.

 

ජාතික ගීය ඉවර වුණා .

 

කාටත් අමතක වුනු  බ්‍රවුන්  පේපරේ ඔතපු අන්තිම තෑග්ග, මේසේ උඩ  සැනසිල්ලේ නිදා ගෙන හිටියා.

 

පන්සලේ ඝාණ්ටාරය  නාද  වුනා.

 

තෑගි ඕනේ නෑ මට!

 

හොටු පෙර පෙර මල් ලේන්සුවෙන් කඳු පිහිදා ගත්ත මන්, හිතට මහා හයියක් අරන්  පන්සලේ ගේට්ටුවෙන් ඈතට පැනල දිව්වා.



By Jahooli Devi

2 comments:

Thattayagekolama said...

ඇයි කථාවක් විදියට උනත් මේ පොඩි කෙල්ලගේ හිත රිද්දුවෙ! ?

මලී said...

නියමයි. ඔහොම දේවල් කොච්චර නම් වුණාද අප්පා ඉස්සර!