Showing posts with label Sinhala translations. Show all posts
Showing posts with label Sinhala translations. Show all posts

Tuesday, August 13, 2019

L’étranger by Charles Baudelaire - ආගන්තුකයා French poem



ආගන්තුකයා
French poem : L’étranger by Charles Baudelaire



-  ගුප්ත මිනිසා , පවසන්න

ඔබ වඩාත්  ආදරය කරන්නේ

ඔබගේ  පියාටද , මවටද , සහෝදරියටද , සහෝදරයාටද ?

- මට පියෙක්, මවක්, සහෝදරියක්, සහෝදරයෙක් නොමැත.

- ඔබගේ මිතුරන්ටද ?

ඔබ පවසන වදනේ  තේරුම මට අද වනතුරුත් පැහැදිලි නොමැත.

- ඔබගේ රටටද ?

- එය කුමන අක්ෂාංශයේ පිහිටියෑ දැයි වත් මම නොදන්නෙමි.

- රූප ශෝබාව ටද ?

 -  අමරණීය දෙවගනක්  බඳු රූපයක් ලබන්නට මමද කැමැත්තෙමි.

- රත්‍රන් ද ?

- ඔබ දෙවියන්  පිළිකුල් කරන තරමටම මම  එයටද අකමැතියි.

එසේනම් අමුතු  ආගන්තුකය,  ඔබ කැමති කුමටද ?

මම කැමති වලාකුළු වලටයි.   අර ඈතින් ඈතින්  පාවෙන වලාකුළු ...

මන බඳින   වලාකුළු වලටයි!



Translated by Jahooli Devi

Sunday, September 16, 2018

Je vis, je meurs by Louise Labé - Sinhala Translation

දුක - සැප 

දිවි ගෙවමි, මියයමි, දැවෙමි, ගිලෙමි, මම
අයිස් සීතල මතද මට මහත් රස්නියකි, 
ජීවිතය බොහෝ සැහැල්ලුය, බොහෝ දුෂ්කරය.
සොම්නසින් පිරුණු පටලැවිලිද ඇත, මට.

වරෙක මම සිනාසෙමි සහ හඬමි
සැප මත දුක් ගොඩක් දරමි
සතුට කිසිදිනෙක මා නොරැදී පලා යයි
මා එක විටම පරවෙමින්, පිබිදෙයි.

මෙලෙස ප්‍රේමය අස්ථිරව මා මෙහෙයවයි
වේදනාවෙන් පිරී යයි සිතන මොහොතක
නොසිතාම මා නිදුකින්ද සිටියි.

ඉක්බිති, සතුට ස්ථිර බව දැනෙන විට
මුළු ලොවක් ජයගත් ලෙස සිතෙන විට
එය මගේ සුපුරුදු දොම්නසටම ඇද දමයි.

Translated by Jahooli Devi

Friday, August 17, 2018

Une allée du Luxembourg by Gérard de Nerval - Sinhala Translation



ලුක්සම්බූර් උයනේදී

ඈ ගියා මා පසු කර, යෞවනිය
තටු සලන විහඟකු මෙන් උද්යෝගයෙන්
අතැතිව රැගෙන බැබලෙන කුසුමක්
මුවගින් නිරතුරුව නොලියූ කවක්

ඇයට පමණකි මෙලොව සමහරවිට
මහද පිලිතුරු දෙනු ඇත්තේ
පැමිණෙමින් ඝනදුරු  රැයට
එක බැල්මකින් ආලෝකවත් කෙරුවේ

එනමුදු නොහැක, මා තුරුණුවිය හමාරය.
සුබ ගමන්! මා සුකොමල දිදුලන කිරණ
විලවුන්, යෞවනිය, සුසංයෝගය
සොම්නස මඟහැරුණි, පලා ගොස් සැඟවිණි. 


By Jahooli Devi


Une allée du Luxembourg est un poème de Gérard de Nerval écrit en 1832 et paru dans le recueil Odelettes en 1853. Il décrit le passage d'une jeune fille et les émotions que cela entraîne chez le poète.


Wednesday, August 15, 2018

නිදහස Translation of La Liberté by Paul Eluard


මගේ පාසැල් වැඩ පොත්හි
ඩෙස් බංකු වල, තුරු පෙල  මත
වැලි මත හිම මත
මම ඔබේ නම ලියමි

කියවූ පිටුවක් පාසා
හිස් පිටුවල පවා
ගලේ ලෙයින් කඩදාසියේ හෝ අළු මත
මම ඔබේ නම ලියමි

රන්වන් රූප මත
රණවිරුවන්ගේ අවි මත
රජ මැතිදුන්ගේ  ඔටුනු මත
මම ඔබේ නම ලියමි

වනාන්තර හා කාන්තාර උඩ
කැදැලි හා වන ලැහබ් මත
ළමාවියේ දෝං කාරය මත
මම ඔබේ නම ලියමි

අරුමැසි රාත්‍රී මත
හිස් වූ දවස් මත
සරණ බැඳි සෘතු මත
මම ඔබේ නම ලියමි
නීලවර්ණ සළුපිලි මත
හිරුකිරණින් තෙත්වූ පොකුණ මත
සඳ එලියෙන් පොපියන විල මත
මම ඔබේ නම ලියමි

ක්ෂිතිජයේ කෙත්වතු මත
සියොතුන්ගේ තටු මත
සෙවණැලි පංකා මත 
මම ඔබේ නම ලියමි

සෑම අරුණැල්ලකම
මහ මුහුද මත බෝට්ටු මත
වියරු වූ ගිරිශිඛර මත 
මම ඔබේ නම ලියමි

වලාකුලු පෙඳ මත
කුණාටුවේ දා බිඳු මත
මහ වැසි මත 
මම ඔබේ නම ලියමි
සෑම දිලිසෙන හැඩයකම 
නෙක පැහැ සීනුවල 
භෞතික සත්‍යය මත 
මම ඔබේ නම ලියමි 

අවදිවූ මාවත් මත 
දිග හැරෙන පාර මත 
සෙනග පිරි ස්ථාන වල 
මම ඔබේ නම ලියමි 
දැල්වෙන පහන මත
නිවී නිවී යන පහන මත
සියලු එකමුතු නිවෙස් මත 
මම ඔබේ නම ලියමි.

දෙපළු කල පලතුරක් මත
යහන් ගැබ කැඩපත මත
හිස් කවඩියක් වූ මගේ ඇඳ ම
මම ඔබේ නම ලියමි.

හුරතල් කෑදර මගේ බල්ලා මත 
උගේ එසවුණු  කන් පියන් පත
නොන්ඩි ගසනා ගාත් මත
මම ඔබේ නම ලියමි.

මගේ දොරගුල මත
සුපුරුදු භාන්ඩ මත
ගිනි ජාල මත 
මම ඔබේ නම ලියමි.

යටත් වුණු සෑම සිරුරකම 
මගේ මිතුරන්ගේ නළලත 
අත දිගු කරන සැම  මත 
මම ඔබේ නම ලියමි 

විස්මයට පත් කවුළු වල 
ඇහුන්කම් දෙන තොල් මත 
නිහඬ බව මතුපිටම 
මම ඔබේ නම ලියමි 

සුන්බුන්ව ගිය මගේ පැල මත 
ඇදවැටුණු ප්‍රදීපාගාර මත 
මගේ ප්‍රශ්න වල බිත්ති මත 
මම ඔබේ නම ලියමි 

විරාගීය නොපැමිණීම මත 
නිරුවත් හුදකලාව මත 
මරණයේ පියගැටපෙළ මත 
මම ඔබේ නම ලියමි 

සුවවුණු  තුවාල මත 
අතුරුදන් වූ සැකය මත 
අමතකවගිය බලාපොරොත්තු මත 
මම ඔබේ නම ලියමි 

වදනක ඇති බලය මත 
මම නැවත අරඹමි  දිවිය 
උපන්නෙමි මම ඔබ හමු වීමට 
ඔබ නමට අරුතක් දීමට 
නි     ද     හ       ස   


Translated by Jahooli Devi


The original title of the poem was Une seule pensée (A single thought). Éluard comments:
Je pensais révéler pour conclure le nom de la femme que j’aimais, à qui ce poème était destiné. Mais je me suis vite aperçu que le seul mot que j’avais en tête était le mot Liberté. Ainsi, la femme que j’aimais incarnait un désir plus grand qu’elle. Je la confondais avec mon aspiration la plus sublime, et ce mot Liberté n’était lui-même dans tout mon poème que pour éterniser une très simple volonté, très quotidienne, très appliquée, celle de se libérer de l’Occupant.
(I thought of revealing at the end the name of the woman I loved and for whom this poem was intended. But I quickly realized that the only word I had in mind was the word Liberté. Thus, the woman I loved embodied a desire greater than her. I confounded it with my most sublime aspiration, and this word Liberté was itself in my whole poem only to eternalize a very simple will, very daily, very apt, that of freeing oneself from the occupation.)
          https://en.wikipedia.org/wiki/Libert%C3%A9_(poem)

Saturday, February 10, 2018

The other wife L'autre femme අනිත් බිරිඳ - Sinahala translation


Image result for l autre femme colette



« දෙන්නෙක්ට කෑම ගන්නද?  මෙහෙන් එන්න සර්.  සර් යි  මැඩම් යි කැමති නම් මුහුද පේන්න ජනේලයේ ගාව ඉද ගන්න පුලුවන්, තව එක මේසයක් ඉතුරු වෙලා තියෙනවා. »

ඇලිස් හෝටලේ මැනේජර් පිටිපස්සෙන් ආවා.
« ආ ඔව් මයි, මාර්ක් එන්න කෝ. මුහුදෙ පාවෙන බෝට්ටුවක ඉන්නවා වගේ අපට කෑම කන්න පුළුවන් ».
ඇගේ ස්වාමි පුරුෂයා ඈව බාහුවෙන් ඇදල ගත්තා.
« අපිට අතන හොඳයි. »
« අතන? ඔක්කොම සෙනඟ මැද්දේ? මම නම් ආස.... »
« අනේ ප්ලීස් ඇලිස් ! »
ඔහු ඇගේ අත කොතරම් තදින් මිරිකුවා ද කිවහොත් ඈ ඉබේම හැරුණා.
« ෂ්ෂ්ෂ් »  ඔහු ඈ දිහා බලාගෙනම , මැද්දේ තියෙන මේසෙට එක්කගෙන ගියා.
« මාර්ක් ඇයි අනේ මොකද වෙලා තියෙන්නේ ඔයාට ?
« මන් ඔයාට පස්සේ කියන්නම් ඩාලින්, මුලින්ම අපි කෑම ඕඩර් කරමු. මොනවද ඔයාට ඕනේ? ඉස්සෝ ද? තම්බපු බිත්තරද? »
« ඔයා කැමති දෙයක්. ඔයා දන්නවානේ. »
දාඩිය පෙරාගෙන , හොඳටම වැඩකරලා හෙම්බත් වෙලා හිටිය හෝටල් මැනේජර් ගෙ වටිනා කාලය නාස්ති කරමින් මේ දෙන්නා කොමළ පාන්න ගත්තා. 
« ඉස්සෝ... »  මාර්ක් ඇණවුම් කලා. 
« බිත්තර එක්ක බේකන් . ඊට පස්සේ, සලාද කොල එක්ක කුකුල් මස්.
ක්‍රීම් චීස්? මොනවද මේකේ හොඳම කෑම එක? ආ ඒකත් ඕනේ.
අන්තිමට හොඳ උණු කෝපි දෙකක්.  අපි ඩ්‍රයිවර් මහත්තයාටත් කන්න කියමු. දෙකෙ වෙද්දී යන්නත් ඕනෙ නේ.
සයිඩර්? ඒක එච්චර හරි නැහැ. ෂැම්පේන් හොඳයි. »
ගිනි මද්දහනේ පාටක් නොමැති මහ සාගරයත්, සුදු පාට  අහස් තලයත් , ලොකු  එල්ලෙන වේලයක් තියෙන කුඩා මර්ක්යුර් තොප්පියක් පැලඳ සිටින ලස්සන බිරිඳ ත් දිහා බලලා ලොකු බරකින් නිදහස් වුණා වගේ ඔහු හුස්මක් පිට කලා.
« ඔයා හරි ලස්සනයි පැටියෝ. මුහුදේ තියෙන නිල්පාට ඔයාගේ ඇස් කොල පාටට හරවනවා. ට්‍රිප් ගිහිල්ලා ඔයා ටිකක් මහත් වෙලා. ලස්සනයි. හැබැයි ගොඩාක් මහත් වෙන්න නම් එපා! »
ඈ ආඩම්බරෙන් මේසේ උඩට බර වුණේ රන් තිසර යුගලත් පෙන්නමින්.
« ඇයි ඔයා මට ජනේල ගාව ඉඳ ගන්න දුන්නේ නැත්තේ? »
මාර්ක් සෙගියු ට බොරු කියන්න ඕනේ වුනේ නැහැ.
« ඔයා මන් අඳුරන කෙනෙක් ගාව තමා ඉඳ ගන්න ගියේ. » 
«  මන් අඳුරන්නේ නැති කෙනෙක්? » 
« මගේ ඉස්සෙල්ලා එක්කෙනා » 
ඈට වචන නැතිව ගියා. නිල් පාට ඇස් ලොකු වුණා.
 « ඉතින් අපිට මොකද ඩාලින්, ආපහු හම්බ වෙන්නත් පුලුවන්. අපිට එයාගෙන් වැඩක් නැහැ. »
 ඇලිස් ට ආපහු සිහිය ආව. පිලි වෙලකට අනිවාර්ය ප්‍රශ්න ටික අහන්න ගත්තා. 
« එයා ඔයාව දැක්කද? «  
« එයා දැක්කද ඔයා එයාව දැක්ක කියල? » 
« පෙන්නන්න එයාව මට ? »
« එක පාරටම පිටිපස්ස හැරිල බලන්න එපා ප්ලීස්. එයා අපි දිහා බලන් ඉන්නවා ඇති. පොඩ්ඩක් කලු, තොප්පියක් දාන් නැති කෙනා. අර තනියම ඉන්නේ. රතු පාට ඇඳන් ඉන්න ළමයි පිටිපස්සේ. »
« ආ ඔව් මට පේනවා. »
ඇලිස්, තොප්පියේ ලොකු වේල් එක යටින් , මීට මාස පහළොවකට ඉස්සෙල්ලා එයාගේ සැමියාගේ බිරිඳ වෙලා හිටිය ගෑණු කෙනාව නිරීක්ෂනය කලා.
« නොගැලපීම්! » මාර්ක් ඒ දවස් වල කිව්වා.
« කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. »
« අපි යාලුවො වගේ කතා බහ කරලා කිසිම ප්‍රශ්නයක් නැතිව  ඉක්මනටම දික්කසාද වුණා. »
« ඊට පස්සේ මන් ඔයාට ආදරේ කරන්න ගත්තා. ඔයාට මාත් එක්ක සතුටින් ඉන්න ඕනේ වුණා. අපි කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නේ? අපේ සතුටට වැරදි කාරයොවත් කාවත් බිල්ලට අරන්වත් නැහැ. »
තොප්පියක් නොපැලඳ සිටි සුදු හැඳි කාන්තාවගේ දිලිසෙන කේශ කලාපය මුහුදු අව් රශ්මියට කැඩපතක් මෙන් දිලිසුණා. ඈ ඇස් බාගෙට පියාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියා.
ඇලිස් නැවත ස්වාමි පුරුෂයා පැත්තට හැරිලා , ඉස්සෝයි බටර් යි හිමින් සීරුවේ කෑවා.
පොඩි නිශ්ශබ්දතාවයකින් පස්සේ
« ඇයි ඔයා මට කිව්වේ නැත්තේ , එයාට තියෙන්නත් නිල් පාට ඇස් කියල? »
« මන් ඒ ගැන හිතුවේ නැහැ »
පාන් වට්ටිය වෙත දිගු කරපු ඇගේ අත ඔහු සිප ගත්තා. ඈ ලජ්ජාවෙන් රතු වුණා.
මහත, දුඹුරු පැහැ සමක් හිමි ඒ කාන්තාව බැලූ බැල්මට ටිකක් රළු පාටයි. ඒ වුනාට නිතරම වෙනස් වන නිල් පාට ඇස්, රත්තරන් පාට කොන්ඩෙ නිසා  ඈ ටිකක් දුර්වල සංවේදී කෙනෙක් බවට පත් කරල තිබ්බා. ඈ හිටපු ස්වාමි පුරුෂයාට කිසියම් කෘතඥ තාවය පල කරන බවකුත්, ඉතා ම සතුටින් ඉන්න බවකුත් පෙනුණා.
ඔවුන් දෙදෙනා හොඳට කෑවේ බීවේ අනිත් කෙනා ව අමතක වෙලා වගේ.
ඇලිස් අසාමාන්‍ය ලෙස මහ හයියෙන් හිනා වුණා. මාර්ක් ඇගේ ඇඟ දිහා බලන් හිටියා. උරහිස හෙලෙවෙන විදිහ, බෙල්ල දික්වෙලා තියෙන විදිහ. 
කෝපි කෝප්ප දෙක එනකම් ඔහේ නිශ්ශබදව බලාගෙන හිටියා.
« එයා තාම එතැන ඉන්නව. »  ඇලිස් යාන්තමට මිමුණුවා.
« එයාට ඔයාව කරදරයක්ද? අපි කෝපි බොන්න වෙන තැනකට යමුද? »
« නැහැ නැහැ ඕනේ  නැහැ, එයාට තම වදයක් වෙන්න ඕනේ අපි ඉන්න එක. »
« එයා එච්චර සතුටින් ඉන්න බවක් නම් පෙන්න නැහැ නේද? »
« වැඩක් නැහැ. මන් දන්නව ඒ එයාගෙ හැටි »
« ආ ඇත්තද? එයාගේ හැටිද? »
සිගරැට් දුම් නාස් පුඩු වලින් පිම්බ ඔහු ඈට රැව්වා.
« හැටි??? නෑ... ඇත්තටම කිව්වොත් එයා මාත් එක්ක සන්තෝසෙන් නෙමේ හිටියේ. »
« ඒ කොහොමද? »
« ඔයා හරිම වටිනා වස්තුවක් පැටියෝ. මන් ඔයාට පිස්සු වැටිල ඉන්නේ මගේ රත්තරන්. ඔයා මට ආදරෙයි.  මට හරිම ආඩම්බරයි. ඔයාගෙ ඔය ඇස් දකින කොට. 
ඔව් ඒ වුණාට එයාගේ ඇස් . මන් දන්නේ නැහැ කොහොමද එයාව සතුටින් තියන්නේ කියලා. ඒක තමා ඇත්ත. මට තේරෙන්නෙ නැහැ. »
« එයා හරි අමාරු කෙනෙක් වගේ. »
පුටු විට්ටමට බරවෙලා සිගරැට්ටුව උරමින් කම්මැලි කමින්, හරිම සෑහීමකට පත් විලාසයකින් සිටි සුදු ඇඳි කාන්තාව දෙස විටින් විට බලමින් ඇලිස් නොරිස්සුම් සහගත ලෙසින් පවන් ගහන්න ගත්තා .
මාර්ක් උරහිස් ගැස්සුවා.
« අන්න හරිම වචනය. අමාරුයි. අපිට මොනවද ඒකට කරන්න තියෙන්නේ
මොනම දෙකින් වත් සෑහීමකට පත් නොවන අයට අපි අනුකම්පා කරන්න ඕනේ. ඒකට අපි! අපි නම් හරිම සතුටින් නේද ඉන්නේ ඩාලින්? »
ඇලිස් උත්තර දුන්නේ නැහැ.
ඈ ස්වාමි පුරුෂයාගේ මූණ දිහා හොඳට බැලුවා. මූණ ටිකක් රතු පාට යි.  තැනින් තැන ඉදිච්ච ගොරෝසු කෙස් ටික උඩට පීරගෙන. නියපොතු පිරිසිදුවට කොටට කපලා. පොඩි අත් දෙකක් . සාමාන්‍ය කෙනෙක්.
පලමු වතාවට ඈ මෙහෙම සැකයෙන් ඇහුවා.
 « එයාට මීට වඩා තවත් මොනවද ඕනේ කරල තිබුණේ?? »
මාර්ක් බිල ගෙවලා රියදුරු මහත්තයාගෙන් පාර අහලා, එතනින් යනකම් ම ඈට මේ සුදු ඇඳි කාන්තාව දිහා ඊර්ෂ්‍යාවෙන් හා කුතුහලයෙන් බලන එක නවත්තන්න බැරි වුණා.
මෙහෙමත් අමාරු, සතුටු කර්‍න්න බැරි , මාර ගෑණියෙක්!

Translated by Jahooli Devi

The original French short story " L'Autre Femme" by Colette from the short story collection " La femme cachée"
Image result for l autre femme colette

Wednesday, November 1, 2017

La Carte et L'Épée


Image result for sri lankan map with a lion


J'ai dessiné une Carte
autour de moi
car j'avais peur...

Quand j'ai peur
Je vais au milieu de la Carte
tenant une épée à la main.

Je reste au centre de la Carte
Je n'ai plus peur
Grâce à cette Carte....

Pourtant,
J'ai peur
à cause de l'Épée.

Donc,
J'ai dessiné
une autre Carte.

Traduit par Jahooli Devi

Le poème en cinghalais : Sithiyama saha Kagapatha écrit par Prof.Liyanage Amarakeerthi

Friday, August 4, 2017

The divorce by Guy de Maupassant දික්කසාදය


පැරීසීයේ අවුරුදු දහයකටත් වඩා කාලයක් තිස්සේ ගැළපෙන්නෙ නැති ජෝඩු හැමෝගෙම දික්කසාද නඩු වලට පෙනී සිටින ප්‍රසිද්ධ නීතිඥ බොන්ත්‍රොන් මහතා,  කාර්යාලයේ දොර විවෘත කරලා එයාගෙ අලුත්ම සේවාදායකයාට ඇතුළට එන්න පැත්තකට වුනා.
Image result for the divorce by maupassant
හැඩි දැඩි , ටිකක් තරබාරු , රත් පැහැ මක් හා තඹ හිසකේ ඇති ඔහු උද්යෝගයෙන් ආචාර කලා. 

"මෙහෙන් ඉඳ ගන්න". නීතිඥ මහතා කිව්වා.

පොඩ්ඩක් කැහල උගුර පාදලා  තරුණයා ඇහුවා.

"සර් මං මේ ආවේ සර්ට මගෙ දික්කසාද නඩුවට පෙනී ඉන්න පුළුවන් ද කියල දැන ගන්න. "

"ඔව් කියන්න බලන්න විස්තරේ."

"සර් , මම ඉස්සර නොතාරිස් කෙනෙක්."

"ඉස්සර!"

"ඔව් ඉස්සර. දැන් මට වයස තිස් හතයි."

"හ්ම්ම්"

"සර්, මං මහ කරුම කසාදයක් කර ගත්තේ, පුදුම කරුමයක්."

"ඔයා විතරක් නෙමේනේ මේ ලෝකේ!"

"මං ඒක දන්නවා, අනිත් කට්ටිය ගැනත් දුකයි. ඒ වුනාට  මගේ කේස් එක හරිම වෙනස්, මම දුක් විදින්නේ අමුතුම කාරණයක් හින්දා. මං මුලක ඉන්ම කතාව කියන්නම් කෝ."

"මං කසාද බැන්දේ කවුරුත් හිතන්නේ නැති විදිහකට. ඔබතුමා විස්වාස කරනවද  භයානක දේවල්?"

"මොන වගේ දේවල්ද?"

"සමහර භයානක අදහස් ඇඟට විස වගේ හිතටත් විසයි.  ඇයි නැද්ද?"

"ඔව්, සමහර විට."  

"ඇත්තටම, සමහර අදහස් අපේ ඔලුවට ගියාම  එවා නතර කර ගන්න බැරි වුනොත් අපේ ඔලුව විකාර කරලා පිස්සු වට්ටලා මරන්න හදනවා.  ඒක නිකන් ආත්මය වහ බොනව වගේ වැඩක්. අපේ වෙලාව අනුව මේ වගේ කරුම අදහසක් අපේ ඔලුවට වැටුනොත්, මුලදිම තේරුම් නොගත්තොත් ඒ අදහස අපිව ගිල ගන්න ඉන්න යකෙක් කියලා, පැයෙන් පැය, දවසින් දවස ඒ දේම මතක් වෙලා, වෙන වැඩක් පලක් ගැන නොහිතා ඒක ගැනම හිතලා හිතලා, තැවිලා ලතවෙලා , අපිව කල්පනා සාගරයක අතරමං කරනවා."

"සර් මෙන්න මේකයි මට වුනේ.  මුලදි කීව්ව විදිහට , රුඔන් වල මං නොතාරිස් කෙනෙක් විදිහට තමා වැඩ කලේ. අපි දුප්පත් නොවුණට හරි අරපරිස්සසමෙන් තමා සල්ලි වියපැහදම් කලේ. මගේ වයසට  කැමති දේවල් කරද්ද්දී  හැම දේටම සතේට ගණන් බලලා වියදම් කරන එක හරි අමාරු වැඩක්."

"නොතාරිස් කෙනෙක් විදිහට මං හෑමදාම පත්තරේ ලුහුඬු දැන්වීම් ඉඩම් කඩම් විකුනණ දැන්වීම් , මංගල යෝජනා පවා එකක් නෑරම කියවනවා. මේ විදිහට මං සමහරුන්ට හොඳ කසාදත් කරගන්න උදව් කරල තියෙනවා."

දවසක් මට මෙහෙම දැන්වීමක් හම්බවුනා.

"පියකරු, චරිතවත්  මෙනෙවියක් විවාහයට ගුණ ගරුක මහතෙක් සොයයි. දෑවැද්ද ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරයි. බ්‍රොකර්වරු අනවශ්‍යයි. "

එදා හවසම මම යාලුවො දෙන්නෙක් එක්ක රෑ කෑමට සෙට් වෙලා කතා කර කර ඉද්දී , කසාද බඳින මාතෘකාවත් ඉබේම මතුවුනා. මම විහුළුවට වගේ ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරේ කෙල්ල ගැන කට්ටියට කිව්වා.

මෝල් අයිති කාර යාලුවා කිව්වා " ඔය මොන වගේ ගෑනුද  කියල අපි නම් දන්නේ නෑ"

අනිත් පෙරකදාරු යාලුවා නම් මේ වගේ හරි ගිය කසාද අනන්තවත් දැකලා තියෙනවා කියල කියන ගමන් මට කිව්වා

"ඇයි යකෝ උඹ ඒකිව සෙට් කරගන්න හදන්නේ නැත්තේ?  නිකම් නෙමේ බන් ෆ්‍රෑන්ක් මිලියන් දෙකහමාරකුත් එක්ක! උඹේ ප්‍රශ්න ඔක්කොමත් ඉවර වෙයී!"

අපි කට්ටියම මහ හයියෙන් හිනාවෙලා වෙන දෙයක් ගැන කතා කරන්න ගත්තා.

පැයකට පස්සේ මං ගෙදර ආවා.

එදා රෑ හරිම සීතලයි.  ඒ කාලේ මං පදිංචි වෙලා හිටියේ ගමේ පරණ ගෙයක, ගෙදර නිකන් පුස් ගඳ ගහන හතු පිපිච්ච මඩුවක් වගේ.
පඩි පෙලේ යකඩ අත්වාරුව අල්ලපු ගමන් මගේ අත සීතල වෙලා ගියා. අනිත් අතින් ටිකක් ඉස්සරහ බිත්තිය අල්ලන්න හදද්දී  තවත් ඇඟ සීතල වෙල ගියා.  එත් එක්කම පපුව නිකම් දුකකිනු යි තරහකිනුයි හිරවෙන්න ගත්තා.  මම මටම මුමුණන්න ගත්තා. 

"දෙය්යනේ, මට ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරක් තිබ්බ නම්!"

මගේ කාමරේ හරිම කලුවරයි. කුස්සියයි කාමරයයි  දෙකම තිබුණෙ එකට . ඇද ඇතිරිලි  නොදාපු ලොකු ඇඳකුයි, අල්මාරියයි , කබඩ්  එකයි , ටොයිලට්  එකයි   විතරයි තිබ්බේ.  ගිනි උදුනක් නැහැ . ඇඳුම් පුටු උඩ . පත්තර බිම හැමතැනම ... 
 
මං හිමීට සිංදුවක්  මුමුණන්න ගත්තා.

මිලියන දෙකා යි
මිලියන දෙකා යි
ෂා   නියමා     යි
ලක්ෂ පහා     යි
සීදේවි  කෙල්ල යි 

සත්තකින්ම මම ඒ වෙනකොට කෙල්ල  ගැන හිතල  නැහැ. ඇඳට වැටිච්ච මං   එයා ගැන කල්පනා කරන්න ගත්තා .කොච්චර  කල්පනා කලාද කිව්වොත් නිදා ගන්නත් පරක්කු වුණා . පහුවෙනිදා උදේ 8 ට වැදගත් වැඩකුත් තිබ්බ.

දෙවියනේ ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරක්. මම දහයට විතර ආපහු ඔෆිස් එකට ආවා. කාමරය ඇතුලේ  ගඳ  ඉවසන්න බැහැ . පරණ නඩු හබ වල කොළ කෑලි, නොතාරිස් කෝට් එකේ ගඳ , සපත්තු තැම්බිච්ච ගඳ ,  හැම දේම  කලවම් වෙලා .  

දවල් කෑමට මං වෙනදා වගේ බැදපු  ඌරු මස් කෑල්ලකුයි චීස් කෑල්ලකුයි කාල වැඩ කරන්න පටන් ගත්තා. අන්න ඒ වෙලේ තමා මං පලවෙනි වතාවට මිලියන දෙකහමාරේ මෙනෙවිය ගැන හරියටම හිතන්න ගත්තේ. 

ඒ කවුද ? ඇයි මං එයාට ලියන්නේ නැත්තේ ? ඇයි මං මේ ගැන දැන ගන්නේ  නැත්තේ.
සර් , අන්තිමට මං මේ වේදනාව ඉවරයක් කලා. දවස් පහළොවක් තිස්සේ මේ අදහස මගේ  ඔලුවේ හොල්මන් කළා. මට කරදර කර කර දුක් දුන්නා. මෙච්චර කාලයකට මට වද නොදුන් ප්‍රශ්නත් ඉඳි කටු අනිනවා වගේ මට වද දෙන්න පටන් ගත්තා.

අන්තිමට මං එයාගේ ජීවිත කතාව ගැනම හිතන්න ගත්තා. 

සර්,  අපි දේකට  කැමති  උනොත්  ඒක ගැන හිතන එක නතර කරන්න බැහැ."

ඇත්තටම ඒවගේ වැදගත් පවුලක ගෑනු ළමයෙක්  එච්චර  දෑ වද්දකුත් එක්ක පත්තරේ දැන්වීමක් දාල කසාදයක් හොයන එක එක ගැන හිතා ගන්නත් අමාරුයි.      
ඒ වුණාට එයා වැදගත් පවුලක කෙනෙක් වෙන්න ඇති. මොකක් හරි ප්‍රශ්නයක්  වෙලා ඇති.   
මුලදී මම මේ මිලියන දෙකහමාර ලොකු දෙයක් කියල හිතුවේ නැහැ. 
මිලියන 6, 8,10,12 දෑ වැදි  දෙන යෝජනා මං  අනන්තවත්  දැකල තියෙනවා. මිලියන 12ත් ලොකු ගාණක් නෙමේ .   
මේ තරුණ ගෑනු ළමය කාගේ හරි අනියම් සම්බන්ධයක ප්‍රතිපලයක් වෙන්න ඇති.  වැරද්ද හංගන්න මේ වගේ දෑ වැද්දක් දීල දේකට වෙන්නැති .
ඒක මෝඩ අදහසක්. නොතරිස්ලා කවදාවත්  නවකතා කියවන්න හොඳ නැහැ. ඒත්  සර් මං ඒවා කියෙව්වානේ . 

ඉතින් මං එයා ලියුමක් යැව්වා. 

සතියකට පස්සේ හවස පහට විතර මම කාර්යාලයේ වැඩක් කර කර ඉද්දී ක්ලාක් මහත්තයා කිව්වා.

 "මිස් ශෝන්ත්ෆ්‍රීස්"  

"එන්න කියන්න ඇතුළට "

අවුරුදු තිහක විතර පෙනුමක් තියෙන, ටිකක් විතර මහතදුඹුරු පැහැ හමක් තියෙන තරුණ කාන්තාවක් ලජ්ජාවෙන් ඇතුලට ආවා.

"ගන්න මිස්"

 එයා ඉඳගෙන  මිමිණුවා.

 "සර් , මම තම ඒ කෙනා"

"සමාවෙන්න මිස්  මං ඔයාව අඳුරන්නේ නැහැ."

"සර් ලියුමක් එවල තිබ්බේ "

"කසාදයකට ?"

"ඔව් සර්"

"ආ ! හොඳයි

"මම තනියෙන්ම ආවා. තනියෙන් ආවම ලේසියි ."

"මාත් එකඟයි . ඉතින් මිස් බඳින්න කෙනෙක් හොයනවද ?"

"ඔව් සර් ".

"ඔයාගේ පවුලේ කට්ටිය ඉන්නවද ?"

 එයා බිම බලාගෙන ගොත ගහන්න ගත්තා .

"නෑ  සර් අම්ම තාත්තා  නැතිවෙලා ගොඩක් කල්."

එහෙනම් මං හිතුවා හරියටම හරි . එක පාරටම මගේ පපුව හෝස් ගාල පත්තු වුණා.  මට තව හාර අවුස්සලා හිත් රිද්දන්න ඕනේ වුනේ නැහැ .

 "ඔයාගේ දෑවැද්ද සල්ලි  වලින්ද?"

මේ පාර එයා පොඩ්ඩක්වත් පැකිල්ලෙන්නේ  නැතිව කිව්වා.

"ඔව් ඔව් සර් ."

මං හොදට එයා දිහා බැලුවා . කෙල්ල නරකම නැහැ . ටිකක් පණ්ඩිත පාටයි. හිතුවට වැඩිය පණ්ඩිතයි.  ලස්සන කෙල්ලෙක්. , හොඳ පෞර්ෂයක්, නියම සහකාරියක්.

"ඔයාට ගෙදර යන්න හදීසිද ?"

 "නැහැ හදීසියක් නැහැ"

"ආ එහෙනම් මෙහාට වෙලා ඉන්නකෝ .අපි කතා කර කර ඉමු."

 "ඔයා හරි හොඳයි අනේ"

 "ඔයා නතර වෙලා ඉන්නේ මොන හෝටලයේද ?"

එයා රුඔන් වල හෝටලයක නමක් කිව්වා.

"මිස් ඔන්න ඔයාගේ අනාගත...  නොතාරිස් ඔයාව අද රෑ කෑම වලට එක්කන් යනවා!"

 එයා පොඩ්ඩක් අදි මදි කරල කැමැත්ත දුන්නා.

"එහෙනම් රෑ හතට එනවා ඔයාව ගන්න"
 
"හා හොදයි සර්"

මං එයාව දොර ළඟටම එක්කන් ගියා.

හතට විතර මං එයාව හම්බවෙන්න ගියා.  එයා සෙන්ට් පව්ඩර් දාල මේකප් එහෙම දාල මාව ආදරයෙන් පිළිගත්තා.

එයාව මං දන්නා රෙස්ටුරන්ට් එකකට එක්කන් ගිහින්  අමුතුම කෑමක් ඔර්ඩර් කළා.

පැයකට පස්සේ  අපි හොද යාලුවෝ වගේ කතා කළා. එයා එයාගේ කතාව කියන්න පටන් ගත්ත.

වැදගත් පවුලක උපන් එයා ගමේ තමා හැදිලා වැඩිලා තිබුණේ . අම්ම තාත්තගේ බූදලේම අයිති උනේ එයාට. හැබැයි ඒගොල්ලොන්ගේ නම් ගම් කවදාවත්ම කියන්න බැහැ ,  කවදාවත්ම කියන්න බැහැ කියල කිව්වා.

මට ඉතින් එකෙන් වැඩක් නැති හින්දා එයාගේ බූදලේ ගැන විස්තර අහන්න පටන් ගත්ත.

එයා හරිම විශ්වාසයෙන් එයාගේ වත් කම්, ඉඩම් කඩම්,  යාන වාහන ,ඔප්පු තිරප්පු  ගැන කතා කරන්න පටන් ගත්තා. මට එයා ගැන ඇත්තටම ලොකු විශ්වාසයක් ඇතිවුණා  . සල්ලි ගැන කතා කරන එක පැත්තක තියල  එයාට කැමති බවක් ඇඟෙව්වා. 

එයා කිචි බිචි ගගා හිනා වෙවී විහිළු කරන්න පටන් ගත්තා . මං එයාට ෂැම්පෙන් වීදුරුවක් දෙන ගමන් මාත් එකක් බිව්වා. මගේ ඔලුව අවුල්වුනේ  එක නිසා.

මං  එන්න එන්නම මනමාල කතා කියන්න පටන් ගත්තා. මොකද මට බය හිතුන එය මාව දාල යයි කියල. 

කලබල නොවී ඉන්න මං ආපහු දෑ වැද්ද ගැන කතා කරන්න පටන් ගත්ත. මොනව උනත් මගේ සේවා දායකයා ව්‍යාපාරිකාවක් නේ !

"ඔයාගෙ වත්කම් නිරවුල්ද?"

"ඔව්  මං ඔක්කොම සාක්ෂි අරන් අරන් ආවේඑයා  කිසි ගානක් නැතිව කිව්වා.

"කොහාටද? මෙහාට?"

"ඔව්  මං අරන් ආව"

"හෝටලේ තියෙනවද ?"

"ඔව් අනේ "

"පෙන්නන්න පුළුවන්නද ?"

"ඇයි  බැරි!"

"අද හවසම ?"

"ඔව් පුළුවන්"

ඇත්තටම එය ඔක්කොම ඔප්පු තිරප්පු ටික අරන් ඇවිල්ල තිබුණා . කිසිම සැකයක් නැහැ මං ඒවා අතට අරන් අල්ලලා බලල කියවන්න ගත්තා.
මට කොච්චර සතුටක් දැනුණද කිව්වොත් සර් එයාව බදල අල්ලල  ඉඹ ගන්න හිතුණා.
මම ආදරෙයන් පිස්සු වැටිලා එයාව  ඉඹගෙන ඉඹගෙන ගියා . එක පාරක් දෙපාරක් නෙම දහපාරක්  විතර . ෂැම්පෙන් වල උදව්වෙන් මං ඉබේම යටත් උනා . නැහැ එයා යටත් වුණා .
"අයියෝ  සර්,  මට ජීවීතේ එපා වුණා  ඒකට පස්සේ! එයා  වැලහින්නක් වගේ  විලාප දෙන්න ගත්තා එයාව  දාල යන්න එපා කියල.  මම එයා ඉල්ලන හැම එකක්ම පොරොන්දු වුණා.  මම ගෙදර ගියේ හරිම කලකිරීමකින් ."

මොනව කරන්නද?  මං මගේ සේවදායිකාව රවට්ටලා. ඒ වුනාට එතනදී මං තමා මෝඩ රැවටුණු සේවාදායකයා වෙලා තිබුණේ . මට එයාව දාල යන්නත් බැහැ . 

දෙවියනේ දෑවැද්ද ! කොහොමද ඒක දාල යන්නේ. ? දැන් ඉතින් බැඳ ගත්ත බෙරේ ගහන්න ඕනේ.

මේ වගේ සෙල්ලක්කාර ගෑණියෙක් ව කොහොම විශ්වාස කරන්නද ?   

මං මුළු රෑ ම තීරණයක් ගන්න  බැරුව  දුකින් කල්පනා කලා . උදේම ආපහු හොඳ සිහිය ආව.

හොඳට ඇඳ පැළදගෙන මං එයා හම්බවෙන්න හෝටලයට ගියා උදේ 11ට. 

එයා ලජ්ජාවෙන් රතු වෙලා බිම බලා ගත්තා.

"මිස් මගෙන් වෙච්ච වැරැද්දට මට කරන්න තියෙන එකම දේ ඔයාව කසාද බඳින එක . ඔයා ඒකට කැමතිද ?"

"ඔව් කැමතියි. " එයා ගොත ගගහ කිව්වා .

අන්තිමේ මං එයාව බැන්දා.

හැම දේම හොඳට තිබුණා  මාස හයක්.  

මම  ගෙයක්  කුලියට  අරන් එයත්  එක්ක ජීවත් වෙන්න ගත්තා . පේන්න නම් එයාගේ කිසිම වැරැද්දක් තිබුනේ  නැහැ.

ඒ වුනාට ටික කාලෙකට පස්සේ මෙයා  කීප පාරක් එලියට යන්න පටන් ගත්ත. එක සතියක අඟහරුවාදා . ඊ ලග සතියේ සිකුරාදා.  මෙයා මාව රවට්ටනවා කියල හිතාගෙන දවසක් මං පස්සෙන්ම ගියා. 

අඟහරුවද දවසක හවස එකට විතර මෙයා රිපබ්ලික් පාරේ  පහල ගිහින්  දකුණට හැරිලා සේන්  ගඟේ  පාලම පහුකරලා ඉස්සරහටම ගියා . බයෙන් පස්ස හැරී හැරී තම  ගියේ.  මං හිගන්නෙක් වගේ වෙස් වලන් ගිය හින්දා එයට මාව අඳුරගන්න බැරි වුණා .
මෙයා වම් පැත්තෙන්  ස්ටේෂන් එකට  ඇතුල් වුණා .  මං  හරි, මෙයාගේ හොර මිනිහ   දෙකේ කෝච්චියේ  එනව  ඇති.

මං කෝච්චියක් පිටි පස්සට වෙලා හැංගිලා බලන් හිටිය.  

සයිරන් හඩ .  කෝච්චියේ යන එන මිනිස්සු.   

එයා ඉස්සරහට ගිහිල්ල  වැඩ කාරියෙක් එක්ක ආපු අවුරුදු තුනක විතර පොඩි ගෑණු  ළමයෙක් උස්සගෙන ඉඹගෙන ඉඹගෙන ගිය. 
ඊට පස්සේ අනිත් පැත්ත හැරිලා  වෙන වැඩ කාරියෙක් එක්ක ආපු තවත් පොඩි ළමයෙක්ව ඉඹගෙන ඉඹගෙන ගියා.  පොඩි පැටව්  දෙන්නා වැඩකාරියොත් එක්ක ආපහු පාලු පාරේ යන්න ගියා.
මම ඔලුව අවුල් වෙලා ගෙදර ආවේ මේ මොකුත් තේරුම් ගන්න බැරුව. 

එයා රෑ  කෑමට ආපු වෙලේ  මං කෑ  ගහ ගෙන  එයාගේ ඇඟට කඩා පැන්නා .    

"කව්ද  ඒ ළමයි?"

"මොන මයිද?"

 "සැන්  සේවෙර් ස්ටේෂමේ එනකන් බලන් හිටිය අය ?"

 එයා කෑගහගෙන කලන්තේ දාල වැටුණා .  සිහිය ආවම එයා අඬ අඬා  ඇත්තම කිව්වා .

"මට ළමයි හතර දෙනයි .  ඔව් සර්, ගැණු ළමයි  දෙන්නා  අඟහරුවාදට , පිරිමි ළමයි දෙන්න සිකුරාදාට ."

වස ලැජ්ජාවයි!!!  එහෙනම් මේක තමා මෙයාගේ මහ ලොකු දෑ වැද්දෙ රහස.   

තාත්තලා  හතරයි.  වන්දි මුදල් ගොඩයි.

සර් මං දැන් මොකක්ද කරන්න ඕනේ ?

පෙරකදාරු  මහත්තයා  බැරෑරුම්ව   උත්තර දුන්නා .

"'  ළමයින්ව බාර ගන්න "


Translated By Jahooli Devi

 

French short story : Guy de Maupassant : Divorce. Texte publié dans Gil Blas du 21 février 1888, puis publié dans le recueil Le rosier de Madame Husson.