« දෙන්නෙක්ට කෑම ගන්නද? මෙහෙන් එන්න සර්. සර් යි මැඩම් යි කැමති නම් මුහුද පේන්න ජනේලයේ ගාව ඉද ගන්න පුලුවන්, තව එක මේසයක් ඉතුරු වෙලා තියෙනවා. »
ඇලිස් හෝටලේ මැනේජර් පිටිපස්සෙන් ආවා.
« ආ ඔව් මයි, මාර්ක් එන්න කෝ. මුහුදෙ පාවෙන බෝට්ටුවක ඉන්නවා වගේ අපට කෑම කන්න පුළුවන් ».
ඇගේ ස්වාමි පුරුෂයා ඈව බාහුවෙන් ඇදල ගත්තා.
« අපිට අතන හොඳයි. »
« අතන? ඔක්කොම සෙනඟ මැද්දේ? මම නම් ආස.... »
« අනේ ප්ලීස් ඇලිස් ! »
ඔහු ඇගේ අත කොතරම් තදින් මිරිකුවා ද කිවහොත් ඈ ඉබේම හැරුණා.
« ෂ්ෂ්ෂ් » ඔහු ඈ දිහා බලාගෙනම , මැද්දේ තියෙන මේසෙට එක්කගෙන ගියා.
« මාර්ක් ඇයි අනේ මොකද වෙලා තියෙන්නේ ඔයාට ?
« මන් ඔයාට පස්සේ කියන්නම් ඩාලින්, මුලින්ම අපි කෑම ඕඩර් කරමු. මොනවද ඔයාට ඕනේ? ඉස්සෝ ද? තම්බපු බිත්තරද? »
« ඔයා කැමති දෙයක්. ඔයා දන්නවානේ. »
දාඩිය පෙරාගෙන , හොඳටම වැඩකරලා හෙම්බත් වෙලා හිටිය හෝටල් මැනේජර් ගෙ වටිනා කාලය නාස්ති කරමින් මේ දෙන්නා කොමළ පාන්න ගත්තා.
« ඉස්සෝ... » මාර්ක් ඇණවුම් කලා.
« බිත්තර එක්ක බේකන් . ඊට පස්සේ, සලාද කොල එක්ක කුකුල් මස්.
ක්‍රීම් චීස්? මොනවද මේකේ හොඳම කෑම එක? ආ ඒකත් ඕනේ.
අන්තිමට හොඳ උණු කෝපි දෙකක්. අපි ඩ්‍රයිවර් මහත්තයාටත් කන්න කියමු. දෙකෙ වෙද්දී යන්නත් ඕනෙ නේ.
සයිඩර්? ඒක එච්චර හරි නැහැ. ෂැම්පේන් හොඳයි. »
ගිනි මද්දහනේ පාටක් නොමැති මහ සාගරයත්, සුදු පාට අහස් තලයත් , ලොකු එල්ලෙන වේලයක් තියෙන කුඩා මර්ක්යුර් තොප්පියක් පැලඳ සිටින ලස්සන බිරිඳ ත් දිහා බලලා ලොකු බරකින් නිදහස් වුණා වගේ ඔහු හුස්මක් පිට කලා.
« ඔයා හරි ලස්සනයි පැටියෝ. මුහුදේ තියෙන නිල්පාට ඔයාගේ ඇස් කොල පාටට හරවනවා. ට්‍රිප් ගිහිල්ලා ඔයා ටිකක් මහත් වෙලා. ලස්සනයි. හැබැයි ගොඩාක් මහත් වෙන්න නම් එපා! »
ඈ ආඩම්බරෙන් මේසේ උඩට බර වුණේ රන් තිසර යුගලත් පෙන්නමින්.
« ඇයි ඔයා මට ජනේල ගාව ඉඳ ගන්න දුන්නේ නැත්තේ? »
මාර්ක් සෙගියු ට බොරු කියන්න ඕනේ වුනේ නැහැ.
« ඔයා මන් අඳුරන කෙනෙක් ගාව තමා ඉඳ ගන්න ගියේ. »
« මන් අඳුරන්නේ නැති කෙනෙක්? »
« මගේ ඉස්සෙල්ලා එක්කෙනා »
ඈට වචන නැතිව ගියා. නිල් පාට ඇස් ලොකු වුණා.
« ඉතින් අපිට මොකද ඩාලින්, ආපහු හම්බ වෙන්නත් පුලුවන්. අපිට එයාගෙන් වැඩක් නැහැ. »
ඇලිස් ට ආපහු සිහිය ආව. පිලි වෙලකට අනිවාර්ය ප්‍රශ්න ටික අහන්න ගත්තා.
« එයා ඔයාව දැක්කද? «
« එයා දැක්කද ඔයා එයාව දැක්ක කියල? »
« පෙන්නන්න එයාව මට ? »
« එක පාරටම පිටිපස්ස හැරිල බලන්න එපා ප්ලීස්. එයා අපි දිහා බලන් ඉන්නවා ඇති. පොඩ්ඩක් කලු, තොප්පියක් දාන් නැති කෙනා. අර තනියම ඉන්නේ. රතු පාට ඇඳන් ඉන්න ළමයි පිටිපස්සේ. »
« ආ ඔව් මට පේනවා. »
ඇලිස්, තොප්පියේ ලොකු වේල් එක යටින් , මීට මාස පහළොවකට ඉස්සෙල්ලා එයාගේ සැමියාගේ බිරිඳ වෙලා හිටිය ගෑණු කෙනාව නිරීක්ෂනය කලා.
« නොගැලපීම්! » මාර්ක් ඒ දවස් වල කිව්වා.
« කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. »
« අපි යාලුවො වගේ කතා බහ කරලා කිසිම ප්‍රශ්නයක් නැතිව ඉක්මනටම දික්කසාද වුණා. »
« ඊට පස්සේ මන් ඔයාට ආදරේ කරන්න ගත්තා. ඔයාට මාත් එක්ක සතුටින් ඉන්න ඕනේ වුණා. අපි කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නේ? අපේ සතුටට වැරදි කාරයොවත් කාවත් බිල්ලට අරන්වත් නැහැ. »
තොප්පියක් නොපැලඳ සිටි සුදු හැඳි කාන්තාවගේ දිලිසෙන කේශ කලාපය මුහුදු අව් රශ්මියට කැඩපතක් මෙන් දිලිසුණා. ඈ ඇස් බාගෙට පියාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියා.
ඇලිස් නැවත ස්වාමි පුරුෂයා පැත්තට හැරිලා , ඉස්සෝයි බටර් යි හිමින් සීරුවේ කෑවා.
පොඩි නිශ්ශබ්දතාවයකින් පස්සේ
« ඇයි ඔයා මට කිව්වේ නැත්තේ , එයාට තියෙන්නත් නිල් පාට ඇස් කියල? »
« මන් ඒ ගැන හිතුවේ නැහැ »
පාන් වට්ටිය වෙත දිගු කරපු ඇගේ අත ඔහු සිප ගත්තා. ඈ ලජ්ජාවෙන් රතු වුණා.
මහත, දුඹුරු පැහැ සමක් හිමි ඒ කාන්තාව බැලූ බැල්මට ටිකක් රළු පාටයි. ඒ වුනාට නිතරම වෙනස් වන නිල් පාට ඇස්, රත්තරන් පාට කොන්ඩෙ නිසා ඈ ටිකක් දුර්වල සංවේදී කෙනෙක් බවට පත් කරල තිබ්බා. ඈ හිටපු ස්වාමි පුරුෂයාට කිසියම් කෘතඥ තාවය පල කරන බවකුත්, ඉතා ම සතුටින් ඉන්න බවකුත් පෙනුණා.
ඔවුන් දෙදෙනා හොඳට කෑවේ බීවේ අනිත් කෙනා ව අමතක වෙලා වගේ.
ඇලිස් අසාමාන්‍ය ලෙස මහ හයියෙන් හිනා වුණා. මාර්ක් ඇගේ ඇඟ දිහා බලන් හිටියා. උරහිස හෙලෙවෙන විදිහ, බෙල්ල දික්වෙලා තියෙන විදිහ.
කෝපි කෝප්ප දෙක එනකම් ඔහේ නිශ්ශබදව බලාගෙන හිටියා.
« එයා තාම එතැන ඉන්නව. » ඇලිස් යාන්තමට මිමුණුවා.
« එයාට ඔයාව කරදරයක්ද? අපි කෝපි බොන්න වෙන තැනකට යමුද? »
« නැහැ නැහැ ඕනේ නැහැ, එයාට තම වදයක් වෙන්න ඕනේ අපි ඉන්න එක. »
« එයා එච්චර සතුටින් ඉන්න බවක් නම් පෙන්න නැහැ නේද? »
« වැඩක් නැහැ. මන් දන්නව ඒ එයාගෙ හැටි »
« ආ ඇත්තද? එයාගේ හැටිද? »
සිගරැට් දුම් නාස් පුඩු වලින් පිම්බ ඔහු ඈට රැව්වා.
« හැටි??? නෑ... ඇත්තටම කිව්වොත් එයා මාත් එක්ක සන්තෝසෙන් නෙමේ හිටියේ. »
« ඒ කොහොමද? »
« ඔයා හරිම වටිනා වස්තුවක් පැටියෝ. මන් ඔයාට පිස්සු වැටිල ඉන්නේ මගේ රත්තරන්. ඔයා මට ආදරෙයි. මට හරිම ආඩම්බරයි. ඔයාගෙ ඔය ඇස් දකින කොට.
ඔව් ඒ වුණාට එයාගේ ඇස් . මන් දන්නේ නැහැ කොහොමද එයාව සතුටින් තියන්නේ කියලා. ඒක තමා ඇත්ත. මට තේරෙන්නෙ නැහැ. »
« එයා හරි අමාරු කෙනෙක් වගේ. »
පුටු විට්ටමට බරවෙලා සිගරැට්ටුව උරමින් කම්මැලි කමින්, හරිම සෑහීමකට පත් විලාසයකින් සිටි සුදු ඇඳි කාන්තාව දෙස විටින් විට බලමින් ඇලිස් නොරිස්සුම් සහගත ලෙසින් පවන් ගහන්න ගත්තා .
මාර්ක් උරහිස් ගැස්සුවා.
« අන්න හරිම වචනය. අමාරුයි. අපිට මොනවද ඒකට කරන්න තියෙන්නේ?
මොනම දෙකින් වත් සෑහීමකට පත් නොවන අයට අපි අනුකම්පා කරන්න ඕනේ. ඒකට අපි! අපි නම් හරිම සතුටින් නේද ඉන්නේ ඩාලින්? »
ඇලිස් උත්තර දුන්නේ නැහැ.
ඈ ස්වාමි පුරුෂයාගේ මූණ දිහා හොඳට බැලුවා. මූණ ටිකක් රතු පාට යි. තැනින් තැන ඉදිච්ච ගොරෝසු කෙස් ටික උඩට පීරගෙන. නියපොතු පිරිසිදුවට කොටට කපලා. පොඩි අත් දෙකක් . සාමාන්‍ය කෙනෙක්.
පලමු වතාවට ඈ මෙහෙම සැකයෙන් ඇහුවා.
« එයාට මීට වඩා තවත් මොනවද ඕනේ කරල තිබුණේ?? »
මාර්ක් බිල ගෙවලා රියදුරු මහත්තයාගෙන් පාර අහලා, එතනින් යනකම් ම ඈට මේ සුදු ඇඳි කාන්තාව දිහා ඊර්ෂ්‍යාවෙන් හා කුතුහලයෙන් බලන එක නවත්තන්න බැරි වුණා.
මෙහෙමත් අමාරු, සතුටු කරර්‍න්න බැරි , මාර ගෑණියෙක්!
Translated by Jahooli Devi
The original French short story " L'Autre Femme" by Colette from the short story collection " La femme cachée"
No comments:
Post a Comment