Sunday, February 18, 2018

ජම්බු ගෙඩිය සහ අරුම පුදුම සත්තු

Image result for jambu tree paintingමා කුඩා කල සිතා  සිටියේ ගැහැණු ළමුන් ඉතා සංවර, ආඩම්බර, ඒ වාගේම හරිම ලජ්ජාශීලී, ශීලාචාර පිරිසක් ලෙසයි. ඔවුන් පිරිමි ළමුන්ව දකින්නේ යක්ෂයින් ලෙස යැයි ද මම සිතා සිටියෙමි. සමහර විට එසේ සිතීමට හේතු වූයේ  කුඩා කල මා හට ගැහැණු ළමුන් හා සෙල්ලම් කිරීමට හෝ කතා කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති වූ නිසා විය හැක. අඩුම තරමින් මා ඉගෙනුම ලැබූ පාසලද පිරිමි විදුහලක් වීම තුල මා හට ස්වභාවිකව ගැහැණු ළමුන් පිලිබඳ යම් කිසි හෝ අවබෝධයක් ලැබීමට තරම් ඉඩක් නොවුනි. අනෙක් කරුණ නම් මා ඉරිදා දහම් පාසැල ද දැඩි ලෙස මග හැරීමයි. ඉතින් මා හට කිසිම අයුරකින් කුඩා කල නම් මේ අපුරු සත්වයා  දැන  හැඳිනීමට  නම් නොහැකි විය.  හැම  විටම මා ගැහැණු ළමුන් පිලිබඳ අවබෝධයක් ලැබුවේ ඇස්  දෙකින් දැක, හැරුණු විට මිස,  ඔවුන් සමග කතා බස් කර හෝ ඔවුන්ට සවන්දීමෙන්වත්, ඔවුන් සමග එක්ව මොනයම් හෝ වාදයක යෙදීමක් තුලින් නම් නොව කෙටියෙන් කියතොත් මා ඔවුන්ව දන්නේ, ඔවුන් ගැන  මගේම හිතින් මා තුල ගොඩ නගා ගත්  ආකල්ප මත මිස, ඔවුන්ගේ ප්‍රායෝගික කතා මත හෝ හැසිරීම් මත නම් නොවේ.


ඉතින් මම ඔබට කියන්නම් දවසක්  අහම්බෙන් වගේ මම ඉරිදා දහම් පාසලට ගොස් උන අපූරු විපත්තියක්.

එදා මම උදෙන්ම වගේ ගිය දවසක්, මොකද තාත්ත මාව ඇත්තටම දහම් පාසලට "එලවපු" දවසක්. හැබැයි මම යනකොටත් මේ අපූරු සත්වයෝ හතර පස් දෙනෙක් පන්සලේ ගහක් යට ඩෙස් බංකු දෙක තුනක් තියන් වෙනද වගේම "තාවකාලික පන්තියක්" හදාගෙන. මම තමයි මුලින්ම ආපු පිරිමි පරාණේ. හැබැයි මම ගිය ගමන් දැක්ක, මේ අපූරු සත්තු ටික මේ තාවකාලික පන්තියට ටිකක් එහායින් තිබුන ජම්බු ගහක් යටට ගිහින්  එකේ තිබුන එකම ජම්බු ගෙඩිය කඩන්න වෑයම් කරනවා.
සමහරු උඩ පනිනවා ජම්බු ගෙඩිය කඩන්න. තව එකියක් පොඩි කෝටු කෑල්ලක් උස්සන් දඟලනවා. එකියක්  ගහ හොල්ලනවා. එකියක් කට ඇරන් ජම්බු ගහ දිහා හිනා වෙවී බලන් ඉන්නවා. මමත් ඉතින් ටිකක් වෙලා බලාගෙන හිටිය මේ අරුම පුදුම සත්තු මේ කරන දේ. ඔහොම බලන් ඉන්නකොට, මොන කරුමෙකටද මන්ද මටත්  හිතුන ගිහින් මේ ජම්බු ගෙඩිය කඩන්න.
මම ඉතින් කිසිම කතාවක් නැතුව බිල්ල වගේ ගිහින් එක පාරක් දෙකක් උඩ  පැනල ජම්බු ගෙඩිය තියෙන අත්ත අල්ල ගත්ත, ඊට පස්සේ හෙමින් හෙමින් පහත් කරලා ජම්බු ගෙඩිය කඩා ගත්ත. ඒත් එක්කම ජම්බු අත්ත අත ඇරලා, ජම්බු ගෙඩිය යට පැත්තේ හිටපු අහිංසක කළු කුඹි දෙතුන් දෙනා  අහකට යන්න හුළං පාරකුත් පිඹල දත් දෙකට තියල කෑල්ලක් හැපුව විතරයි. මෙන්න බොලේ මේ අපූරු සත්තු මාව වට කරන්  කියනවා,

"ආ....ඉන්න කියන්න ලොකු සර්ටයි, හාමුදුරු වන්ටයි. , ඔයා ජම්බු ගෙඩිය කැඩුව  කියල."  

 අනේ දෙවියනේ මේ මොකක්ද මේ උනේ? ඉතින් එයාලානේ මුලින්ම ඒක කඩන්න හැදුවේ, එකනේ මමත් ගිහින් කැඩුවේ! අනිත් එක ඒගොල්ලෝ කඩන්න හැදුවේ කන්න නෙමේද? මේ මොකක්ද මේ උනේ? හැබැයි ඉතින් මම එයාලට දුන්නේ නැහැ තමයි, අඩු ගානේ කෑල්ලක් වත් දුන්නේ නැහැ තමයි. අනික ජම්බු ගෙඩියක් කොහොමද කන්නේ පස් හය දෙනෙක්?
වෙරළු ගෙඩියක් හත් දෙනෙක්  කාපු  කතාවක් නම් මම අහල තියෙනවා. එත් ඉතින් මම ඔය කතාව  විශ්වාස කරේ නැහැ. මට රත් උනා. මම මේ මොකක්ද කර ගත්ත විනාසේ? මම ඇටි  කෙහෙල් ගිලපු උගුඩුව වගේ බලන් හිටිය  මේ අපූරු සත්තු දිහා. උන්ගේ මුනේ නම් කිසි අනුකම්පාවක් නැහැ, ඇස් ගෙඩි දිලිසෙනවා. උන් වියරු වැටිලා..හරියට කොටි දෙනුන් වගේ...නැහැ නැහැ  උන් මම දිහා බලන් හිටියේ මම හරියට උන්ගේ දීග දෙනකොට දෙන්න හිතන් ඉන්න දැවද්දම හොරකන් කරපු පල්  හොරෙක් දිහා බලන් ඉන්න තාලෙට.

 මම යන්තම් හපපු ජම්බු කෑල්ල හපන ගමන්, මතක් කර ගත්ත මුළු දහම් පාසලේම ළමයි ඉස්සරහ ලොකු සර් "මේ ජම්බු ගෙඩියේ හොරකම" කියල මට අර මහතා වේවැලෙන් පත බානවා. ඉන් පස්සේ ඔක්කොම ළමයි ටික මට දානවා නමක් "ජම්බු හොරා" කියල. තවත් නම් මම ජීවත් වෙලා ඉවරයි.  මගේ අත පය වෙව්ලලා ගියා. දෙවියනේ මම දැන් මොකද කරන්නේ? දහම් පාසලේ උදේ ගාථ කියන්න බෙල් එකත් දැන් ගහයි...අය්යෝ...මේ ජම්බු ගෙඩියකුයි මේ ගැහැණු පරාණ ටිකයි මට කරපු වින්නැහිය...ඉතින් නම් තවත් මට මේ දේවල් හිතන්න නම් තවත් බැරිය. මම ඉක්මනට ගිහින් පොත් දෙක අතට අරන් ගෙදරම දුවන් ආවා එක ආවා හැල්මෙම. හිතට දැනුනේ හරිම සැහැල්ලුවක් මේ අපූරු සත්තුන්ගේ දෑස් මානෙන් මිදුනම. එත් මම අයෙත් දුවන ගමන් කල්පනා කරා, මේ සිද්ද වෙච්ච දේ තේරුම් ගන්න. අනේ දෙවියනේ..මගේ මේ පුංචි මොළ ගෙඩියට නම් එක තේරුම් ගන්න බැරි උනානෙ. ඒ කොහොම වෙතත් තාත්ත එලෙව්වත් ආයෙත් නම් දහම් පාසල් ගියේ නම් නැහැ.

ඉතින් මගේ කර දඬු උස මහත් වෙලා අහම්බෙන් වගේ මේ සිද්දිය ආයෙත් මතක් උනා. මම නිකමට වගේ හිතුව මොකක්ද එදා ඒ උන ගිනි  විජ්ජුම්බරේ  කියල. එතකොටනේ මට තේරුනේ, අය්යෝ අය්යෝ ...මම වගේ ගොන් හරකෙක්, මට තිබුනේ ඒ කඩපු ජම්බු ගෙඩිය, එතන හිටපු අර ලස්සන, සුදු, උස, හීන් දෑරි, ඇස් දිගටි,   නිල්  පාට ගවුමක් ඇඳන් හිටපු අපූරුම අපූරු සතාට දෙන්නයි.
එහෙම  කරා නම් මේ වෙනකොට මම  හොඳට බණ දහම් දන්නා ධර්මාචාර්‍යය කෙනෙක් වෙන්නත්  තිබුන. කරුමෙක මහත! 

Written by Manu Fernando

No comments: