Showing posts with label honesty. Show all posts
Showing posts with label honesty. Show all posts

Tuesday, November 10, 2015

Sri Lankan Poetry - Yannan Chandare - Timraan Keerthi - National Literary Award 2015


යන්නං චන්දරේ , කර්තෘ ප්‍රකාශනයකි  
ටිම්රාන් කීර්ති 


  මාර්තු මාසයේ පැවැත්වුන අන්නාසි කඩල ගොටු සාහිත්‍ය උත්සවයේ සිංහල කාව්‍ය පිළිබඳ සාකච්ඡාව නැරඹීමට ගිය මට ටිම්රාන් කීර්ති කියන තරුණ කවියා මුණ ගැසුණි . ඔහුට මේ අවුරුද්දේ 2015 හොඳම කාව්‍ය සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණ අතර  ඒ සම්මානය ඔහුගේ ඉදිරි සාහිත්‍ය කාර්යය කර ගෙන යාමට  අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇතැයි මම සිතමි.


සාහිත්‍ය උත්සවයේ ඔහුගේ කවිය සඳහා පෙනී සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල ආචාර්ය වරයෙක් වන  ලියනගේ අමරකීර්ති  මහතා. කොටින්ම ඔහුට වත් ලියන්න බැරි "පට්ට" කවි ටිම්රාන් ලියලා තිබුන නිසා එයා වෙනුවෙන් සිත් ඇඳ බැඳ ගන්නා ලෙස  මහත් "අනුකම්පාවෙන්", මහත් උනන්දුවෙන් කතා කලේ ඔහු. දෙදෙනාම කීර්ති වීම තුලත් දෙදෙනාටම දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම තුලත් ඇති විමතිය පසෙකලා ටිම්රාන් ගේ කවි ගැන කතා කිරීම සුදුසුය.

ලියනගේ අමරකීර්ති මහතාට  ටිම්රාන්ව පැත්තකට කර තියන්න සිදු වුණේ  ඔහුට විශ්වවිද්‍යාලයේ යන්න ලකුණු කිහිපයක් මදි වීමත්, ඔහු කිරි ගොවියෙක් හා කම්කරුවෙක් ලෙස සේවය කිරීම යන කරුණු සබාව ඉදිරිපිට කියා ඔහුගේ පුරුෂ ශක්තිය කපා දා තිබූ නිසා හෝ තමා ලියන්නේ ගිනි පුපුරු වගේ කවි යයි නොදන්න ටිම්රාන් සතුව ආත්ම ශක්තියක් නොතිබූ නිසාත් වෙන්නැති.

මට ලතින් පාඨයක් සිහිවේ. Latin proverb : Verba volant, scripta manent  "spoken words fly away, written words remain". 
ලියන්නට පුලුවන් වූ ඔබට කියන්නට නොහැකි ඇයි මිතුර?? 

ඊට අමතරව රෝලන්ඩ් බාර්ත් තර්ක කරන ලෙස කතුවරයාගේ මරණය හෙවත් ඔහුගේ නොවැදගත්කම කවියක් විචාරය කරන විටදී භාවිතා නොකිරීම ගැන මට ඇතිවුනේ ගැටළුවක්.
අපිට කවියාගේ උප්පැන්න සහතිකය කුමටද?
ඒත් "ටිම්රාන් කවි ලියන කම්කරුවෙක්",  ඒකත් හොඳ මාකටින් පාරක් සාහිත්‍යය  කරළියට එන්න!

සාකච්ඡාව අවසානයේ මම ටිම්රාන් ලඟට ගිහිල්ල කිව්වා
" මට ඔයා ගැන ආඩම්බරයි, ඔයා දිගටම  කවි ලියන්න , ගමේ ඉඳන් කවි ලියන්න , හැබැයි කවදාවත් වෙනස්  වෙන්න නම් එපා කියල."

ඒ  කතාවේ තියනව කුහක කමක්.  ටිම්රාන්ව අපි ගමේ හිර කරනවා, අපිට ඕනේ විදිහට සාහිත්‍ය වින්දනෙට කවි ලියාගන්න.
එයාත් කවි ලියල, පොත් මුද්‍රණය කරලා , කොළඹ සාකච්ඡා වලට එන්නේ , පුවත් පත් වලට ලිපි සපයන්නේ කාලයක් තිස්සේ දවසේ කුලියට කප කපා  හිටිය ළිං  පතුලෙන් ගොඩ එන්න නේද ? ඉහත ප්‍රශ්නය අහන්නේ කවියාමයි.


 මී හරක් නැට්ට අතහැර 

ඇයි යන්න බැරි එගොඩට
 පාලම පැනල කොළඹට  
 ගිය හුඟක් උන් දැන් ගොඩේ ගොඩ

                                             (pg 90,  ඇයි යන්න බැරි එගොඩට) 


අපි සාහිත්‍ය විචාර කරන්න ඉගන ගත්තට අපිට ඔහොම හිතට වදින කවි ලියන්න බැහැ. අපිට ජීවිතයේ එතරම්  අත්දැකීම් නැහැ. ආදරය, සමනළයෝ, මල්වැල්, කුරුල්ලෝ ගැන තමා මම කම්මැලි උනාම ලියන්නේ, ඒවා  කවි නෙමේ, ආසාවට ලියන වාක්‍ය.  අපි  කොළඹින් පිටට යන්නේ ට්‍රිප් , ජීවත් වෙන්නේ කෘතීම ලෝකෙක. අපේ වීරයෝ ශේක්ස්පියර් , වික්ටර් ඉයුගෝ, බෝදලෑර්. ඒ පොරවල් ගැන හදාරපු අපිට , ටිම්රාන් වීරයෙක් වෙන්නේ හුග කාලෙකට පස්සේ නියම  ශ්‍රීලාංකික බවකින් කවියක් ලිව්වා නිසා.  මහගම සේකර, සිරි ගුණසිංහ, රත්න ශ්‍රී ජයතිලක කම්මැල්ලවීර මංජුල වෙඩිවර්ධන  වැනි ප්‍රවීණයන්ට පසුව නූතන කොල්ලෙක් "ඇත්ත " කතා කරන එක වීර කමක්. 

ඔහුගේ කවිවල බලෙන් ඔබ්බපු "කොත්තු , ටුක්ටුක් , පැණි බූන්දි, කොළඹ සන්නි" කතා නැහැ.

ඔහු ලියන්නේ "කොළණි , පෙට්ටි කඩේ මාර්තා , චන්දරේ , සිකුරිටි , ගල්වල , ෆැක්ට්‍රිය , කොට බිත්තියෙන් වට වුන පුංචි පන්ති කාමරය , ජම්බෝල සිරිපාල, කහට, අල්ලාහු අක්බර්!, කිරි ගොවි තැවුල්  ගැන.

ඔහුගේ කවිවල අපූරු හාස්‍ය රසයකුත් තියෙනවා.

කියවන විට ලිවීමට දුන්න
 රෝමය ගිනි ගනී වාක්කිය
සෝමේ ගිනි ගනී යයි 
වරද්දා ලිව්වදා ජම්බෝල සිරි පාල 
රකුසු මුහුනැති සෝමසිරි සර්ටත්
බකස් ගෑවුන 
හරි ජාති සිංහල පීරියඩ් එක " pg 93 

«  » ගන්න « රි « ගන්න  «  » ගන්න ඉගැන්නුවා සංගීත ගුරු තුමී  
(pg 94, අපේ පුංචි පංති කාමරය )

ලිංගිකත්වය පුද්ගල සබදතා එදිනෙදා ජීවිතයේ අංගයක්ම ලෙස ගෙන අපහසුවකින් තොරව , අතිශෝක්තියකින් තොරවද කවියා කතා කර තිබෙනවා.  

සමයවර්ධනගේ හඬ අකුණක්ව පිපුරුණා
ගිනි පුලිඟු ඇස්  දෙකේ පිරිමිකම ඉස්සුණා
     උන්න තැන්  අමතකව මගේ පපුව ගැස්සුණා 
    කමලක්ක  තන පටය හදන් සන්සුන් වුණා "
                                                      (pg 77, ගිනි ගත්  රැයක්) 

ටිම්රාන්ගේ කවි කෙනෙකුට කම්පනයක් ඇති කරනවා. සාහිත්‍යය  චලනයක් ඇති කරනවා කියන්නේ ඒකයි. එය ඉතා සුබවාදී චලනයක්. ඒ අතර භූමි කම්පා වැනි පොත් පත් ඇති කරන්නේ  ලෝක විනාශයක්! ( මාගම් සෝලිය මා කියවපු එවැනි « most controversial » නවකතාවක්!)

යන්නං චන්දරේ ,  අප සමාජයේ පවතින උස පහත් පංති භේදය , සමාජ විෂමතාපොදු ජනතාව පිලිබද සංවේදී වීමට කරන ආරාධනාවක්. 

ප්‍රථම චලනයෙන් අපි මේ කවි පොත් මිලට ගන්නවා. මුදල මත තීරණය වුන සමාජයක සැඟව  යන්නට තිබූ මමිණි කැටයක් වූ ටිම්රාන්, ඔහුගේ ජීවන අත් දැකීම් පොතකට ගේන්නේ මහත් අපහසුතාවයකින්.  අපි එය මිලට ගනිමින් වටිනාකමක් දෙන අතර වෙනදාට වැඩියෙන් සමාජය දෙස සානුකම්පිතව බලන්න උත්සාහ කරනවා.  පාඨකයන් කවි පොත් මිලට ගැනීමෙන් සාධරණීය කරන්නේ ඔහුගේම කවියක් : 

සාම්පල් යෙහෙන් වළඳන 
මිලට ගන්නට නොරිසි දන හට 
කිතුල්  පැණි පවා තිත්තය. 
(pg 41, කිතුල් හකුරු)  

අරමුණු මතම දිවෙන ලෝකයක සාහිත්‍යයට අරමුණක් තිබීම  අත්‍යවශ්‍ය   කරුණක්  ලෙස මම දකින්නේ නැහැ.  "කතුවරයාගේ අරමුණ" ඔහුගේ ජීවන අත් දැකීම් නිරූපණය කිරීම බව මතුපිටින් පෙනී ගියත් මෙම කෘතිය පාඨකයා තුල ඇතිකරන වෙනස සහ සමාජයේ ඇති කල යුතු වෙනස පෙන්වන නිසා    ටිම්රාන් ගේ කෘතිය විශේෂ වෙනවා. කවියා , කෘතිය , පාඨකයා සහ මෙම කෘතිය නොකියවන නමුත් ඔවුන් ගැන කතාකරන සමාජය යන කොටස් සියල්ලම සංතෘප්ත වන බැවින් එය විශේෂ අවස්ථාවක්. 

කාටවත් ලියන්න බැරිවුන ඇත්ත ඔහු පවසා තිබෙන හෙයින් ඔහුට සම්මාන එකක් නොව ගොන්නක්ම ලබා දිය යුතු වෙනවා. 

නමුත් මේ අව්‍යාජත්වය දිගටම  රැක ගන්නේ කෙසේද

කමලක්ක සුදු හාමිනේ ඔහු තව දුරත් හඳුනා ගනීද

බොකුටු කොණ්ඩය වවාගෙන මාල වළලු පටලාගෙන ඔහුත් කොළඹ තව ගංජා පොරක් වෙයිද

ලංකාදීප සාහිත්‍ය අතිරේකයට ඔහු පවසා ඇති පරිදි "විචාරකයන් රැහැයියන්  ලෙස කෑ ගසන විට ඇතිවන කන්දොස්කිරියාව" ඔහුට දරා ගත හැකිවේද

ඔහු ලියූ කවි පද ලියූ පමණින් ඔහුට නොව පාඨකයන්ට ද  අයිති බව ඔහු පිළිගනී විද

ඉහත ප්‍රශ්න හමුවේ මා මේ ලිපිය අවසන් කරන්නේ මාගේ ප්‍රියතම කවියෙනි. 

එහි ඇති අර්ථ හා ශබ්ද රසයේ  සමබරතාවය , සිංහල භාෂාවේ ඇති අපූර්ව සහ අසම සම බව මැනවින් පෙන්වන නූතන භාෂා  රටාව  අනුගමනය කල කවියකි.  කවියා මෙලෙස  අපට අභියෝග කරයි.  


බදාගෙන සඳත් ආයෙම අත්හැරපන් 
පතාගෙන මොකුත් ලැබුවානම් කියපන් 
සදාකල් උනත් බැරි නෑ  නිදි මරපන් 
හදාගෙන ඉඩක් කවි පදයක් ලියපන් 

සදාකල් උනත් බැරි නෑ නිදි මරපන් 
නිදාගත් එවුන් ඇහෙරෙන කවි ලියපන් 
බදාගත් සඳත් රෑ අහසේම තියපන් 
කැකෑරෙන දවල් හැකිනම් සඳ හොයපන් 

                                                     (Pg 64, රෑ  කවියක්)


 නිදා ගත් එවුන් ඇහැරවූ ටිම්රාන් ඔබට ජය!


By Jahooli Devi

Tuesday, August 4, 2015

මගේ පවුල ( My Family)


මගේ පවුල
කිසිවෙක් දෙවන මහා ලෝක යුද්ධය පිළිබඳ මතය මාගේ දෙමව්පියන්ගෙන් විමසුවහොත් ඔවුන් නොපැකිළිව පිළිතුරු දෙනු ඇත්තේ එය ඔවුන්ගේ ජීවිතයේ මුහුණදුන් අඳුරුම කාලපරිච්ඡේදයක් ලෙසටය. එයට හේතුව ඔෂ්විස් හා ඩ්‍රැන්සි ලෙස ප්‍රංශය පිල් දෙකකට බෙදීම  හෝ මිලියන හයක් වූ යුදෙව්සංහාරය හෝ මනුෂ්‍යත්වයට නිගරු කල කිසිදා සමාවව දිය නොහැකි සියලු අපරාධ නොව ඔවුන්ගේ ජීවිතයේ වටිනාම අංගය වූ ප්‍රංශය චාරිකාව දීර්ඝ අවුරුදු හතක් ඔවුනට අහිමි වී යාමය. මගේ පියා විශ්‍රාම ගිය රජයේ සේවකයෙක් නිසාත් මගේ මව රජයේ සේවයේ නිරත වී සිටි නිසාත් ඔවුනට සෑම අවුරුද්දකම දරු මල්ලන් සමඟ රාජධානියේ නිවාඩුවක් ගත කිරිමේ මහඟු අවස්ථාව හිමිවිය. ඔවුනට ප්‍රංශය කිසිවිටෙක යටත් විජිත පාලනයේ මූලස්ථානය නොවීය.සැබවින්ම එය ඔවුන්ගේ මාතෘ භූමිය වූ අතර ආලෝක පුරවරය වූ පැරීසිය ඔවුන්ගේ ජීවිතයට සැපයූ එකම දීප්තිය විය. ටෙම්පල්හි බිම්ගඩොල් හා සැන් පියෑර්හි වෙළඳපොළත් විශේෂයෙන්ම සැන් ෂැපෙල් හා වෙර්සායි යන ස්ථානවල විස්මිත වාර්තා වලින් මගේ මව අපේ හිස්ගෙඩි පිරෙව්වාය.මගේ පියා ප්‍රිය කලේ ලූව්‍ර කෞතුකාගාරයත් තරුණ කාලයේ ඇඟ හිරි ඇර ගැනීමට ගිය සිගාල් නෘත්‍ය ශාලාවත්ය. වර්ෂ 1946 දිනක හිමිදිරි අරුණලු වැටෙත්ම ඔවුහු තමන්ව නීත්‍යානුකූල ලෙස හදා ගත් දේශය වෙත නැවත රැගෙනයන මාවතේ ප්‍රථම නැවතුම්පොල වන හාවර් වරාය වෙත යාත්‍රා කිරීමට නියමිත බෝට්ටුවට ගොඩ වූයේ මහත් චිත්තප්‍රමෝදයකින්ය.

මම පවුලේ බාලයා වීමි.මගේ උපත සම්බන්ධයෙන් පවුලේ එක් මිත්‍යා අන්දරයක් විය.මගේ පිය ගාම්භීරව හැටතුන් වියේ පසු විය.මගේ මව හතලිස්තුන්වෙනි උපන්දිනය සැමරුවා පමණය. ඈ තවදුරටත් කිසිදු මාසික රුධිර සළකුණක් නොදකින විට එය ආර්තවහරණයේ ප්‍රථම පියවරයැයි සළකා සත්වරක් ඇගේ ප්‍රසූති කාර්යය කල නාරී වෛද්‍ය මෙලාස් මහතා හමුවීමට තීරණය කළාය.ඈව පිරික්සීමෙන් පසුව මතුවුයේ කොක් හඬලන සිනාවකි.
- මට මාර ලජ්ජාවක් දැනුණාදරුවා බඩේ හිටිය මුල් මාස ටිකේ මම හරියට තරුණ අම්මා කෙනෙක් වගේ බඩ හංගගන්න හැදුවාමගේ මව ඇගේ මිතුරියන්ට විස්තර කිරීමට පුරුදුව සිටියාය.
ඇගේ “ක්‍රස් අ බොයොහෙවත් පමාවී ඉපදුණ දරුවා ඇගේ මහළු වියේ කොඳු නාරටිය බවට පත්ව ඇතැයි කියමින් ඈ මට කොතරම් හාදු දෙමින් පැවසුවත් මෙම කතාව කණ වැකෙන සෑම මොහොතකම මගේ හදවත වේදනාවෙන් හැකිලී ගියේ මගේ පැමිණීම කිසිසේත්ම බලාපොරොත්තු නො වුවකි යි යන හැඟීමෙනි.

අද දිනයේයුද්ධයෙන් අඳුරුව ගිය පාළු පැරීසියේ ලතැන් ප්‍රදේශයේ එළිමහනේ වාඩි වී සිටි මා අයත් වූයේ එක් විනෝදය සපයන දුර්ලබ කණ්ඩායමකටය.අතීතයේදී නිලතලවලට කෑදර වූ මගේ පියාත්, නානාප්‍රකාර බටහිර ඉන්දීය-යුරෝපීය ආභරණවලින් සැරසුණු මගේ මවත්ඔවුන්ගේ දරුවන් අට දෙනාත්සීලවන්තව දෙනෙත් පහලට යොමු කරගෙන සිටි මගේ සොහොයුරියනුත්, ඒ වනවිටත් වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සහෝදරයෙක් ඇතුලුව යෞවනයේ පසුවූ මගේ සහෝදරයනුත්, වයසට වඩා මේරූ කල්පනා ඇති හුරතල් කිරීමෙන් හොඳටම නරක් වූ ළඳැරියක් වූ මා ද එහි වූහ. ඉණට සමබරව තබාගත් බන්දේසි අතැතිව ආපන ශාලාවේ තරුණ සේවකයෝ උද්යෝගයෙන් අප වටා කරකැවුණේ මී වදයට ඇදෙන මී මැස්සන් මෙනි.ඔවුන් මින්ට් තේ බඳුන් සංග්‍රහ කරමින් කදේ වැටීමට උත්සාහ කලහ.

"ඔය කට්ටිය කොච්චර හොඳට ප්‍රංශ කථාකරනවාද ! "

දෙබැම නොහකුළුවා සිනහවකින් තොරව මේ ගෞරව ප්‍රශංසාව භාරගත් මගේ දෙමව්පියෝ ආපන ශාලා හිමිකරුගේ ශීර්ෂ ප්‍රණාම ආචාර වලින් සෑහීමකට පත්වූහ. නමුත් සේවකයන් පිටුපා යත්ම ඔවුහු අප සාක්ෂි කරුවන් ලෙස ගෙන අවලාද නැඟූහ.

-ඒ වුනාට අපිත් උන්වගේම ප්‍රංශ කට්ටිය තමයි,මගේ පියා සුසුම් ලෑවේය.

- උන්ට වඩා ප්‍රංශ අපි, කෝපයෙන් ගුගුළමින් මගේ මව අගය වැඩි කළායඇය පැහදිලි කිරීමට කරුණු එක්කළාය.
අපි උන්ට වඩා උගත්. අපිට හොඳට හැසිරෙන්න දන්නවා. අපි හොඳට පොතපත කියවනවා.ඔතන ඉන්න සමහරු කවදාවත් පැරීසියෙන් එළියට අඩියක්වත් තියලා නැතිකොට අපි මොන්-සැන් මිෂෙල්,කෝත් දසූර්, කෝත් බාස්ක් වලටත් ගිහින් තියෙනවා.

මෙම වචන වල ගැබ්ව තිබූ යම් සානුකම්පිත බවක් ළමා වියේදීම මට නොරිසි වියඔවුන් පැමිණිලි කළේ මහත් අසාධාරණයක් සිදුවූ පරිද්දෙනි.අහේතුකව එකිනෙකාගේ භූමිකාවන් මාරුවුණි. කළු කබා හා සුදු ඒප්‍රණ හැඳි පාරිතෝෂික මුදල් එකතු කරන්නෝ ඔවුන්ගේ වත්පොහොසත් ගනුදෙණු කරුවන් පිටුපසට වී කටුකුටු ගෑහ. ඔවුනට උප්පත්තියෙන්ම ප්‍රංශ අනන්‍යතාව හිමිව තිබූ අතර ශිෂ්ට සම්පන්න සිටි මගේ දෙමව්පියන්ට එය ප්‍රතික්ෂේප විණි. මට තේරුම් ගත නොහැකි වූයේ තමන්ගේ රටේ වැදගත් ලෙස ජීවත් වන යමක් කමක් හිමි උඩඟු මගේ දෙමව්පියෝ හෝටල් සේවකයන් සමඟ පොර බදා ගන්නේ කුමන පරමාර්ථයක් සඳහා ද යන්නය.

එක් දිනක් මා මේ සියලු ප්‍රශ්න විසඳා ගැනීමට තීරණය කළෙමි.  අමාරුවේ වැටෙන සෑමවිටකම මම දිව ගියේ ඇමෙරිකානු වීමේ සිහිනයෙන් සොන්ද්‍රිනෝ ලෙසින් ඔහුම නම නැවත බෞතිස්ම කරගත් ඇලෙක්සෝන්ද්‍ර වෙතටය.පංතියේ පලවෙනියා වෙමින්ද කෙල්ලන්ගේ පෙම් හසුන් වලින් සාක්කු පුරවාගෙන ද සිටි සොන්ද්‍රිනෝ මගේ ජීවිතයේ ආලෝකය වියමගේ ආදරණීය සහෝදරයා මට ආරක්ෂාව රැකවරණය නිරතුරුව සැපයීය.නමුත් මම ඔහුගේ සොහොයුරිය වීමෙන්ම පමණක් සැනසීමට පත්නොවූයෙමිහැඩට වැඩට හැඳ පැලඳ ගත් යුවතියක් වට පිටාවේ සිටින විට හෝ පා පන්දු තරඟයක් ආරම්භ වීමට පෙර මා සියල්ල අමතකකර විමසුවේ ,ඔහුට අපේ දෙමව්පියන්ගේ හැසිරීම ගැන තේරෙනවා ද යන්නයඔවුන්ගේම වචනයෙන් පවසන ලෙස ඔවුන් සමඟ හරි හරියට පෑහිමට නොහැකි මිනිසුන්ට ඔවුන් මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයි?

අපි එකල පදිංචි වී සිට්යේ හත්වන දිස්ත්‍රික්කයේ නිස්කලංක වීදියක පිහිටා තිබූ තට්ටු නිවාසයක පහළ මාලයේ ය.එය අපව දුෂ්කරතාවයට පත් කරමින් නිවස තුලට හිරකර තැබූ ලා පොආන්ත් වල නිවස මෙන් නොවීය. දෙමව්පියෝ අපිට ඇති තරම් එළියට යාමටත් අනිත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමටත් අවසර දුන්හ.එකල මෙම නිදහස මා මවිත කරවීය.පසු කලෙක මට අවබෝධ වූයේ ප්‍රංශයේ සිටියදී අප දෙමව්පියන් අප ක්‍රෙයෝල්1 භාෂාව කතාකිරීමට පටන් ගනීයැයි හෝ ලා පොආන්ත් වල කාපිරි ගැටව් මෙන් බෙර වයන්නටත් කැමති වේ යැයි බියෙන් පසු නොවූහ. මට මතක පරිදි එදින අපි තඹ හිසකේ කොල්ලන් සමඟ අල්ලං සෙල්ලං කර වියළි පළතුරු වලින් යුත් තේ වේලක් බෙදා හදා ගත්තේ පැරීසියේ තවදුරටත් ආහාර හිඟයක් පැවතිය නිසාවෙනිඒ වන විට රාත්‍රි අහස් කුස නෙක තරු පිරි පෙනේරයක් බවට පරිවර්තනය කරමින් සිටියාය. මගේ එක් සහෝදරියක් ජනේලයෙන් ඔළුගෙඩිය එළියට දමා බෙරිහන් දීමට පෙර අප ගෙදර ඒමට සූදානම් වූයෙමු.

-ළමායි ,අම්මයි තාත්තයි එන්න කියනවා.

මගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සොන්ද්‍රිනෝ විශාල දොරටුවකට හේත්තු විණි. තවමත් ඉතිරිව ඇති ළමාවියේ පිරුණු කම්මුල් වලින් හා සතුටින් පිරී ගිය ඔහුගෙ මුහුණ ක්ෂණයෙන් අඳුරු වළාවින් පිරිණි.ඔහුගේ කට හඬ උස්විය.
-ඔයා ඒ ගැන වද වෙන්න එපා,ඒක අමතක කරලා දාන්න.,අම්මයි තාත්තයි පිටස්තර ජෝඩුවක්.

පිටස්තරයෝ ? එහි තේරුම කුමක්ද ප්‍රශ්න ඇසීමට මම එඩිතර නොවූයෙමි. සොන්ද්‍රිනෝ දෙමව්පියන් විහිළුවට ගත් ප්‍රථම අවස්ථාව එය නොවීය.මගේ මව එබොනි සඟරාවෙන් කපාගත් ඡායාරූපයක් ඔහුගේ ඇඳට ඉහලින් එල්ලා තිබුණිඑහි අපගේ පවුල මෙන් ළමයින් අට දෙනෙක්ගෙන් යුත් කළු ඇමෙරිකානු පවුලක් ගැන වර්ණනා කර තිබිණිසියලු දෙනාම වෛද්‍යවරුනීතිඥයෝ ,ඉංජිනේරුවෝගෘහ නිර්මාණ ශිල්පීහු වූහ. කෙටියෙන්ම කිවහොත් ඔවුහු දෙමව්පියන්ගේ "වටිනා ආභරණ'  වූහ. මෙම ඡායාරූපය සොන්ද්‍රිනෝ දරුණු ලෙස විවේචනය කළ අතර ජීවිතය පටන් ගැනීමටත් පෙර එයින් සමුගන්නා බව නොදත් ඔහු දිනක සුප්‍රසිද්ධ ගත්කතුවරයකු වනු බව දිවුරා පොරොන්දු විය. ඔහු මට ඔහුගේ ප්‍රථම නවකතවේ පිටු සැඟවූයේයනමුත් ඔහු මා ඉදිරියේ ඔහුගේ කාව්‍යය රචනා හඬ නඟා කීමට පුරුදු වී සිටියේයඒවා මට ව්‍යාකූල වූවත් ඔහුට අනුව කවි රචනා සාමාන්‍යයෙන් කාටවත් තේරෙන්නේ නැත.ඊට පසු දින රාත්‍රියේ මා ඇඳේ එහට මෙහාට පෙරලෙමින් ගතකලේ ඉහල ඇඳේ සිටි තෙරේස්වද අවදි කරමිනි.මට මගේ මවගේ පියාගේ අවශ්‍යතාවය තදින්ම දැනිණි.ඔවුන්ගේ අළු පැහැ ගැන්වුනු හිසකේ ත් රැළි වැටුණු නලල් තලත් මගේ ප්‍රීතියට හේතු නොවූ බව සැබෑය.ඔවුන් තරුණ යුවලක් වී නම් කොතරම් අගනේ දැයි මට සිතිණි
අහා ! මගේ හොඳම යෙහෙළිය වූ ඊව්ලීස් ,ඇගේ මව සමඟ කැතීස්මයට පල්ලි යද්දී සිදුවූ ලෙස මිනිස්සු මගේ මවත් මගේ වැඩිමහල් සොහොයුරිය ලෙස වරද්දවා ගන්නවානම් කොතරම් අගනේද ! ලා පෙතීත් ලාරූස් විස්තරාත්මක ශබ්ද කෝෂයෙන් කෙනෙකුට තේරුම් සොයගත හැකි බව පසු කාලීනව මට අවබෝධ වූ ලතින් පාඨ වලින් මගේ පියා ඔහුගේ කතාබහ ඔප දැමූ විට මම සැබවින්ම කම්පා වූයෙමි.
« Verba volant, scripta manent, carpe diem , pater familias , dues ex machine »2

එමෙන්ම මගේ මව ඇගේ හමේ පාටට වඩා පැහපත් ස්ටොකින්ස් මේස් අව්වේ පැළැඳ සිටිනු දැකීමත් මට වේදනා ගෙනදීය. නමුදු මා ඔවුන්ගේ හදපත්ලෙන්ම නැගෙන සෙනෙහස හඳුනා ගත් අතර ඔවුන් සෑමවිටම උත්සාහ කලේ අපව සමාජයේ උසස් තැනකට ගෙන ඒමට සූදානම් කිරීම බව මම අවබෝධ කර ගතිමි.
   
             මම මගේ සහෝදරයාගේ විනිශ්චය ගැන සැක සාංකා ඇති කර නොගැනීමට තරම් ඔහු කෙරෙහි මහත් විශ්වාසයක් තබා සිටියෙමි.ඔහුගේ කට හඬේ ස්වරයෙන් හා හැඟීම් ප්‍රකාශ වලින් මට ඒත්තු ගැන්නුනේ පිටස්තරයෝ යන ගුප්ත වචනයෙන් හැඟෙන්නේ ලජ්ජාවට පත්විය යුතු ගොනෝරියා වැනි රෝගී තත්වයක් හෝ පසුගිය අවුරුද්දේ ලා පොආන්ත් වල බොහෝදෙනා ගොදුරු වූ කහ උණ වැනි මාරාන්තික තත්වයක් බවය. රාත්‍රී දොළහ කණිසම වැදෙත්ම සියලු කරුණු එකට ගැට ගසා ගත නොහැකි වූ මා අවසානයේ න්‍යායක් මවා ගත්තෙමි.   පිටස්තරයෙක් යනු තමාට වීමට හැකි පුද්ගලයා වීමට අකමැති හෙයින් තමාට වීමට නොහැකි පුද්ගලයෙක් වීමට උත්සාහ දරන්නෙකිදෙකේ කණිසම නාද වෙත්ම නිදාගැනීමට මොහොතකට පෙර මම දිවුරා පොරොන්දු වූයේ කිසිදිනෙක පිටස්තරයෙක් බවට පත්නොවන බවයි.

          මෙම හේතුව නිසා මම අමුතුම තාලේ දැරිවියක් බවට පත් වූයෙමි.සාමාන්‍යය දරුවෙක් නොවී එකට එක කියන්නත් තර්ක කරන්නත් වූයෙමි.මගේ ජීවිතයේ අරමුණු පිළිබඳ කිසිඳු හැඟීමක් නොතිබූ නිසා මගේ දෙම්ව්පියන් යෝජනා කල සියලු දෙයක්ම ප්‍රශ්න කිරීමට පුරුදු වූයෙමි.
          අයිදා හෝ ලක්මේ සංගීත ඔපෙරා ශ්‍රවණය කිරීමට යෑමඔරොන්ජෙරි කෞතුකාගාරයේ නිල්මහනෙල් චිත්‍ර නැරඹීමට යෑම. එසේ නැතිනම් ගවුමක් ගැනසපත්තු ජෝඩුවක් ගැන හෝ කොණ්ඩය ගැට ගසන ආකාරය ගැන.ඉවසීමට නම් නොදැරූ මගේ මව දිනකට විසිවතාවක් පමණ නිර්ලෝභීව ඇගේ අදහස්ද ප්‍රකාශ කළාය.

-දෙය්යනේ !, මේ ළමයාට මොකා වැහිලද?

එම චාරිකාව අවසානයේ ගත් ඡායාරූපයකින් දිස්වෙන්නේ අප ලුක්සම්බූර් උද්‍යානයේ සිටි බවයි.පඩිපේලියක් මෙන් සිටින මගේ සහෝදර සහෝදරියෝපිටතින් ලොම් තීරුවක් සහිත කබායක් හැඳ උඩු රැවුල වවාගෙන සිටින මගේ පියාඅළු පැහැ ෆෙල්ට් තොප්පිය යටින් දිගැති ආමන්ඩ් හැඩයේ දෙනෙත් පෙන්වාගෙන මුතුකැට වැනි දත්පෙල ද පෙන්වා සිනාසෙන මගේ මව. ඉරණම විසින් කළගුණ නොදත් දරුවන්ට දෙන දඬුවමක් විලසට අවුරුදු විස්සේ සිට මා අනාථ දරුවෙක් කරන තුරු හා යොවුන් විය අවසන් වන තෙක් උරුම වූ විඩාබර විරූපී ඇටසැකිල්ලක් බඳු ශරීරයෙන් යුක්ත වූ මම ඇගේ දෙදණ අතරට මැදිවී සිටියෙමි.

එදින සිට මා නිරන්තරයෙන්ම පිටස්තර භාවය යන වචනය තේරුම්ගැනීමට උත්සාහ කළ අතර සොන්ද්‍රිනෝ ගේ නිරවද්‍යතාවය ප්‍රශ්න මම මගෙන්ම කළෙමිමගේ දෙමව්පියන් පිටස්තරයන්ද? නිසැකවම ඔවුන් ඔවුන්ගේ අප්‍රිකානු උරුමය පිළිබඳ අභිමානයක් නොපෙන්වූහ.ඔවුහු එය මග හැරියහ. එය ප්‍රත්‍යක්ෂයප්‍රංශයේ ගත කාලයේදී මගේ පියා කිසිදිනෙක එකෝල් වීදියේ පිහිටි අලිඋන් දිඕප් ගේ මොලයෙන් බිහි වූ "ප්‍රෙසෝන්ස් අෆ්‍රිකෑන්" සඟරාව නිකුත්කරන කාර්යාලයට අඩිය තබා නැත.මගේ මව මෙන් ඔහුද විශ්වාස කලේ වටිනා කමක් ඇත්තේ බටහිර සංස්කෘතියේ පමණක් බවත් එය ඔවුනට ද ලබාගැනීමට අවසර දුන් දුන් ප්‍රංශයට සදා ණයගැති බවත්ය. එමෙන්ම ඔවුන් දෙදෙනාගෙන් කිසිම අයෙක්ට සමේ වර්ණය නිසා පහත් හැඟීමක් නොවීය.උසස් නීග්‍රෝ ජාතිකයන්ගේ ඉදිරි පැවත්ම වෙනුවෙන් දරුවන් නමදෙනෙක්ගේ සාක්ෂියක්ද ගෙන ඔවුහු මෙලොව සිටින උගත්ම උසස්ම පුද්ගලයන් යැයි සිතාගෙන සිටියහ.

පිටස්තරභාවය” යනු මෙයද ?




1 ප්‍රංශ හා බටහිර ඉන්දියානු මව්බසේ සම්මිශ්‍රණයක්


2 ලතින් පාඨ 
Verba volant scripta manent- පවසන වචන පාවී යයි .ලියන වදන් රැඳෙයි.
Carpe diem -  අද හොඳම දවස
Pater familias - ගෘහ මූලිකයා
Dues ex machine -  යන්ත්‍රයෙන් මතු වූ දෙවියා, නාට්‍යමය ප්‍රයෝගයක්



Translated by Jahooli Devi

Chapter 1 of the novel  Le cœur à rire et à pleurer by Maryse Condé