Showing posts with label sinhala poems. Show all posts
Showing posts with label sinhala poems. Show all posts

Thursday, January 26, 2023

උස් තුරු මුදුන් වල

 උස් තුරු මුදුන් වල 

පිපුණු කුසුමක් පවා 

වැනේ සුළඟට 

අතු ඉති අතර 


කන්දක් ලෙසම 

ඉන්නට නොහැක 

වැසි වසින කල 

නාය යයි  මහ රෑක 


සිනාසෙන මුහුණක 

පවා කඳුලක් 

වැටේ නොසිතන 

මොහොතක 


යන්න සිතුණොත් 

සුසුමක් පවා තෙරපන්නට 

හැකිය සියුමැලි

දෙඅතකට දැඩිව. 


By Jahooli Devi



Friday, August 2, 2019

ගසා ගෙන ගිය රුවල් නැව්


අතු කපා බිම හෙලූ ගහකට යලි දළු ලන්න හැකි නම්
වෙඩි වැදී ලේ ගැලූ සිරුරකට සුව වෙන්න හැකිනම්
ක්ෂිතිජයේ මිය යන ඉරක් පසු දිනම පිබිදේනම් 
මරණයට බිය වෙවී ඇයි අපි ජීවිතය විඳවමින් ...

අළු ගසා නැගීටු පක්ෂියා පියා සලමින් නොගියේද?
පරවී වැටුණු මලක නටුවෙන් යලි මලක් නොපිපේද ?
ගසා ගෙන ගිය රුවල් නැව් තොටක් කිසිදා නොදකීද?
අරමුණක් නැහැ කියා මිනිසා පෙරට යන ගමන නවතයිද ?

By Jahooli Devi 

Sunday, July 7, 2019

ඇත්ත කවියක්


ආදරය කියන්නේ 
කොහොල්ලෑ තලියක් 
ගහක පිළිලයක් 
කකුලක ඇනුණු කටුවක් 
සුව නොවන තුවාලයක්

ආදර සිංදු 
බෙලෙක් තහඩුවට ගහන පාරක් 
කට තිත්ත අරිෂ්ටයක් 
දිව මදින ඔක්කාරයක් 
බැරැන්ඩි වුණ උගුරක්

ආදර පොරොන්දු 
පණු කාපු දත් කුහරයක් 
නැතිවුණු ඉඳි කට්ටක් 
ලෝඩ් වෙන වෙබ් පිටුවක් 
සීනි ලුණු වැඩි බීමක්

ආදර වන්තයා / වන්තිය 
ලේ බොන කූඩැල්ලෙක් 
ඔක්සිජන් නැති කිමිදුමක් 
හිරවුණු ලිෆ්ට් එකක් 
තොණ්ඩුව දාන අළුගෝසුවෙක්

ආදර තෑගි 
ඇඟිල්ලට හිරවුණු මුද්දක් 
සුවඳ නැති රෝස මල් පොකුරක් 
අව්වට දියවෙන චොකලට් පෙත්තක් 
බූල් යන තඩි ටෙඩියෙක්

ආදර කවි 
මුල මැද අග නොගැලපෙන රචනයක් 
අසමත් වූ එලිසමයක් 
තේරුමක් නැති හරුපයක් 
කොටින්ම පට්ට පල් බොරුවක් !

By Jahooli Devi

Wednesday, November 1, 2017

La Carte et L'Épée


Image result for sri lankan map with a lion


J'ai dessiné une Carte
autour de moi
car j'avais peur...

Quand j'ai peur
Je vais au milieu de la Carte
tenant une épée à la main.

Je reste au centre de la Carte
Je n'ai plus peur
Grâce à cette Carte....

Pourtant,
J'ai peur
à cause de l'Épée.

Donc,
J'ai dessiné
une autre Carte.

Traduit par Jahooli Devi

Le poème en cinghalais : Sithiyama saha Kagapatha écrit par Prof.Liyanage Amarakeerthi

Monday, October 16, 2017

කුරුළු අනියම් පෙම


Image result for grey hornbills couple painting


පෙම්බරා
එනු මැන
කිරිල්ලිය  හා කුරුළු පැටවුන්
අතහැර
මා වෙත ...

බැඳීම් ඉරා විසිකර 
නැවතත්
බැඳෙන්නට
ඇගේ තටු සිඳ දමා
මා හා ඉගිලෙන්නට
කුරුළු පැටවුන් පෙළා
මා හා කිචි බිචි ගාන්නට

පෙම්බරා
එනු මැන විගස
මා කූඩුවක්
තනන්නට පෙර ...


By Jahooli Devi

Wednesday, May 3, 2017

Il pleure dans mon cœur par Paul Verlaine - Sinhala version


මගේ හදවත හඬා වැළපෙයි 
වැසි වසිනා ලෙසට නුවරට 
කිමද මේ සන්තාපය 
මසිත පසාරු කරවන ?

මහ පොලොව හා පියැසි මත 
චිචිරි චිචිරි ගා වැටෙන වැහිබිඳු 
ගීයකි ය අගනා කන්කළු 
මලානිකව ගිය හදකට

අහේතුකවම කඳුලැලි සලයි සිත 
ගිලන් කරමින් හදවත 
නමුත් නැත කිසිදු රැවටීමක්, විරහයක් 
මේ දොම්නසට හේතුවක්!

ආලයක් වෛරයක් නොමැති වත් 
මහද වැළපේනම් නිතිත් 
හේතුවක් නොදැනීම නොවෙද 
දැරිය නොහැකිම දුක මෙලොව?

Translated by Jahooli Devi

Related image

Sunday, August 14, 2016

ලංකා ලංකා පෙම්බර ලංකා




රේඩියෝ දැම්මොත් බණ පිරිත්
චිත්‍රපටි බැලුවොත් රජ කතා , කට කතා
ටී වී දැම්මොත් මැති ඇමති විවාද
ට්‍රිප් එකක් ගියොත් අටමස්ථාන
බර්ත් ඩේ පාටි ත් අමද්‍යප , නිර්මාංශ

පාරට බැස්සොත් බඩු , කෑලි, සූ සූ
මේකප් දැම්මොත් කෝලම්, සක්කරවට්ටම්
නැටුවොත් ගැයුවොත් උඩරට වන්නම්
කොට ගවුම් මිනි ස්කර්ට් පෙන්නන්න බෑ අරහං

හැමදේම කන්න බෑ  , බොන්න බෑ ,
වැඩියත් නිදාගන්න බෑ , ඇහැරිලා ඉන්නත්  බෑ ,
කපල් වලට යන්න බෑ , තනියම ඉන්න බෑ ,
නිකන් ඉන්න බෑ,  මැරෙන්නත් බෑ, හැම දේම තහනම්!

By Jahoolidevi

Tuesday, November 10, 2015

Sri Lankan Poetry - Yannan Chandare - Timraan Keerthi - National Literary Award 2015


යන්නං චන්දරේ , කර්තෘ ප්‍රකාශනයකි  
ටිම්රාන් කීර්ති 


  මාර්තු මාසයේ පැවැත්වුන අන්නාසි කඩල ගොටු සාහිත්‍ය උත්සවයේ සිංහල කාව්‍ය පිළිබඳ සාකච්ඡාව නැරඹීමට ගිය මට ටිම්රාන් කීර්ති කියන තරුණ කවියා මුණ ගැසුණි . ඔහුට මේ අවුරුද්දේ 2015 හොඳම කාව්‍ය සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණ අතර  ඒ සම්මානය ඔහුගේ ඉදිරි සාහිත්‍ය කාර්යය කර ගෙන යාමට  අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇතැයි මම සිතමි.


සාහිත්‍ය උත්සවයේ ඔහුගේ කවිය සඳහා පෙනී සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල ආචාර්ය වරයෙක් වන  ලියනගේ අමරකීර්ති  මහතා. කොටින්ම ඔහුට වත් ලියන්න බැරි "පට්ට" කවි ටිම්රාන් ලියලා තිබුන නිසා එයා වෙනුවෙන් සිත් ඇඳ බැඳ ගන්නා ලෙස  මහත් "අනුකම්පාවෙන්", මහත් උනන්දුවෙන් කතා කලේ ඔහු. දෙදෙනාම කීර්ති වීම තුලත් දෙදෙනාටම දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම තුලත් ඇති විමතිය පසෙකලා ටිම්රාන් ගේ කවි ගැන කතා කිරීම සුදුසුය.

ලියනගේ අමරකීර්ති මහතාට  ටිම්රාන්ව පැත්තකට කර තියන්නට සිදු වුණේ  ඔහුට විශ්වවිද්‍යාලයේ යන්න ලකුණු කිහිපයක් මදි වීමත්, ඔහු කිරි ගොවියෙක් හා කම්කරුවෙක් ලෙස සේවය කිරීම යන කරුණු සබාව ඉදිරිපිට කියා ඔහුගේ පුරුෂ ශක්තිය කපා දා තිබූ නිසා හෝ තමා ලියන්නේ ගිනි පුපුරු වගේ කවි යයි නොදන්න ටිම්රාන් සතුව ආත්ම ශක්තියක් නොතිබූ නිසාත් වෙන්නැති.

මට ලතින් පාඨයක් සිහිවේ. Latin proverb : Verba volant, scripta manent  "spoken words fly away, written words remain". 
ලියන්නට පුලුවන් වූ ඔබට කියන්නට නොහැකි ඇයි මිතුර?? 

ඊට අමතරව රෝලන්ඩ් බාර්ත් තර්ක කරන ලෙස කතුවරයාගේ මරණය හෙවත් ඔහුගේ නොවැදගත්කම කවියක් විචාරය කරන විටදී භාවිතා නොකිරීම ගැන මට ඇතිවුනේ ගැටළුවක්.
අපිට කවියාගේ උප්පැන්න සහතිකය කුමටද?
ඒත් "ටිම්රාන් කවි ලියන කම්කරුවෙක්",  ඒකත් හොඳ මාකටින් පාරක් සාහිත්‍යය  කරළියට එන්න!

සාකච්ඡාව අවසානයේ මම ටිම්රාන් ලඟට ගිහිල්ල කිව්වා
" මට ඔයා ගැන ආඩම්බරයි, ඔයා දිගටම  කවි ලියන්න , ගමේ ඉඳන් කවි ලියන්න , හැබැයි කවදාවත් වෙනස්  වෙන්න නම් එපා කියල."

ඒ  කතාවේ තියනව කුහක කමක්.  ටිම්රාන්ව අපි ගමේ හිර කරනවා, අපිට ඕනේ විදිහට සාහිත්‍ය වින්දනෙට කවි ලියාගන්න.
එයාත් කවි ලියල, පොත් මුද්‍රණය කරලා , කොළඹ සාකච්ඡා වලට එන්නේ , පුවත් පත් වලට ලිපි සපයන්නේ කාලයක් තිස්සේ දවසේ කුලියට කප කපා  හිටිය ළිං  පතුලෙන් ගොඩ එන්න නේද ? ඉහත ප්‍රශ්නය අහන්නේ කවියාමයි.


 මී හරක් නැට්ට අතහැර 

ඇයි යන්න බැරි එගොඩට ? 
 පාලම පැනල කොළඹට  
 ගිය හුඟක් උන් දැන් ගොඩේ ගොඩ

                                             (pg 90,  ඇයි යන්න බැරි එගොඩට) 


අපි සාහිත්‍ය විචාර කරන්න ඉගන ගත්තට අපිට ඔහොම හිතට වදින කවි ලියන්න බැහැ. අපිට ජීවිතයේ එතරම්  අත්දැකීම් නැහැ. ආදරය, සමනළයෝ, මල්වැල්, කුරුල්ලෝ ගැන තමා මම කම්මැලි උනාම ලියන්නේ, ඒවා  කවි නෙමේ, ආසාවට ලියන වාක්‍ය.  අපි  කොළඹින් පිටට යන්නේ ට්‍රිප් , ජීවත් වෙන්නේ කෘතීම ලෝකෙක. අපේ වීරයෝ ශේක්ස්පියර් , වික්ටර් ඉයුගෝ, බෝදලෑර්. ඒ පොරවල් ගැන හදාරපු අපිට , ටිම්රාන් වීරයෙක් වෙන්නේ හුග කාලෙකට පස්සේ නියම  ශ්‍රීලාංකික බවකින් කවියක් ලිව්වා නිසා.  මහගම සේකර, සිරි ගුණසිංහ, රත්න ශ්‍රී , ජයතිලක කම්මැල්ලවීර , මංජුල වෙඩිවර්ධන  වැනි ප්‍රවීණයන්ට පසුව නූතන කොල්ලෙක් "ඇත්ත " කතා කරන එක වීර කමක්. 

ඔහුගේ කවිවල බලෙන් ඔබ්බපු "කොත්තු , ටුක්ටුක් , පැණි බූන්දි, කොළඹ සන්නි" කතා නැහැ.

ඔහු ලියන්නේ "කොළණි , පෙට්ටි කඩේ මාර්තා , චන්දරේ , සිකුරිටි , ගල්වල , ෆැක්ට්‍රිය , කොට බිත්තියෙන් වට වුන පුංචි පන්ති කාමරය , ජම්බෝල සිරිපාල, කහට, අල්ලාහු අක්බර්!, කිරි ගොවි තැවුල්  ගැන.

ඔහුගේ කවිවල අපූරු හාස්‍ය රසයකුත් තියෙනවා.

කියවන විට ලිවීමට දුන්න
 රෝමය ගිනි ගනී වාක්කිය
සෝමේ ගිනි ගනී යයි 
වරද්දා ලිව්වදා ජම්බෝල සිරි පාල 
රකුසු මුහුනැති සෝමසිරි සර්ටත්
බකස් ගෑවුන 
හරි ජාති සිංහල පීරියඩ් එක " pg 93 

« ස » ගන්න « රි « ගන්න  « ග » ගන්න ඉගැන්නුවා සංගීත ගුරු තුමී  
(pg 94, අපේ පුංචි පංති කාමරය )

ලිංගිකත්වය , පුද්ගල සබදතා එදිනෙදා ජීවිතයේ අංගයක්ම ලෙස ගෙන අපහසුවකින් තොරව , අතිශෝක්තියකින් තොරවද කවියා කතා කර තිබෙනවා.  

සමයවර්ධනගේ හඬ අකුණක්ව පිපුරුණා
ගිනි පුලිඟු ඇස්  දෙකේ පිරිමිකම ඉස්සුණා
     උන්න තැන්  අමතකව මගේ පපුව ගැස්සුණා 
    කමලක්ක  තන පටය හදන් සන්සුන් වුණා "
                                                      (pg 77, ගිනි ගත්  රැයක්) 

ටිම්රාන්ගේ කවි කෙනෙකුට කම්පනයක් ඇති කරනවා. සාහිත්‍යය  චලනයක් ඇති කරනවා කියන්නේ ඒකයි. එය ඉතා සුබවාදී චලනයක්. ඒ අතර භූමි කම්පා වැනි පොත් පත් ඇති කරන්නේ  ලෝක විනාශයක්! ( මාගම් සෝලිය මා කියවපු එවැනි « most controversial » නවකතාවක්!)

යන්නං චන්දරේ ,  අප සමාජයේ පවතින උස පහත් පංති භේදය , සමාජ විෂමතා, පොදු ජනතාව පිලිබද සංවේදී වීමට කරන ආරාධනාවක්. 

ප්‍රථම චලනයෙන් අපි මේ කවි පොත් මිලට ගන්නවා. මුදල මත තීරණය වුන සමාජයක සැඟව  යන්නට තිබූ මමිණි කැටයක් වූ ටිම්රාන්, ඔහුගේ ජීවන අත් දැකීම් පොතකට ගේන්නේ මහත් අපහසුතාවයකින්.  අපි එය මිලට ගනිමින් වටිනාකමක් දෙන අතර වෙනදාට වැඩියෙන් සමාජය දෙස සානුකම්පිතව බලන්න උත්සාහ කරනවා.  පාඨකයන් කවි පොත් මිලට ගැනීමෙන් සාධරණීය කරන්නේ ඔහුගේම කවියක් : 

සාම්පල් යෙහෙන් වළඳන 
මිලට ගන්නට නොරිසි දන හට 
කිතුල්  පැණි පවා තිත්තය. 
(pg 41, කිතුල් හකුරු)  

අරමුණු මතම දිවෙන ලෝකයක සාහිත්‍යයට අරමුණක් තිබීම  අත්‍යවශ්‍ය   කරුණක්  ලෙස මම දකින්නේ නැහැ.  "කතුවරයාගේ අරමුණ" ඔහුගේ ජීවන අත් දැකීම් නිරූපණය කිරීම බව මතුපිටින් පෙනී ගියත් මෙම කෘතිය පාඨකයා තුල ඇතිකරන වෙනස සහ සමාජයේ ඇති කල යුතු වෙනස පෙන්වන නිසා    ටිම්රාන් ගේ කෘතිය විශේෂ වෙනවා. කවියා , කෘතිය , පාඨකයා සහ මෙම කෘතිය නොකියවන නමුත් ඔවුන් ගැන කතාකරන සමාජය යන කොටස් සියල්ලම සංතෘප්ත වන බැවින් එය විශේෂ අවස්ථාවක්. 

කාටවත් ලියන්න බැරිවුන ඇත්ත ඔහු පවසා තිබෙන හෙයින් ඔහුට සම්මාන එකක් නොව ගොන්නක්ම ලබා දිය යුතු වෙනවා. 

නමුත් මේ අව්‍යාජත්වය දිගටම  රැක ගන්නේ කෙසේද ? 

කමලක්ක සුදු හාමිනේ ඔහු තව දුරත් හඳුනා ගනීද ? 

බොකුටු කොණ්ඩය වවාගෙන මාල වළලු පටලාගෙන ඔහුත් කොළඹ තව ගංජා පොරක් වෙයිද ? 

ලංකාදීප සාහිත්‍ය අතිරේකයට ඔහු පවසා ඇති පරිදි "විචාරකයන් රැහැයියන්  ලෙස කෑ ගසන විට ඇතිවන කන්දොස්කිරියාව" ඔහුට දරා ගත හැකිවේද ? 

ඔහු ලියූ කවි පද ලියූ පමණින් ඔහුට නොව පාඨකයන්ට ද  අයිති බව ඔහු පිළිගනී විද ? 

ඉහත ප්‍රශ්න හමුවේ මා මේ ලිපිය අවසන් කරන්නේ මාගේ ප්‍රියතම කවියෙනි. 

එහි ඇති අර්ථ හා ශබ්ද රසයේ  සමබරතාවය , සිංහල භාෂාවේ ඇති අපූර්ව සහ අසම සම බව මැනවින් පෙන්වන නූතන භාෂා  රටාව  අනුගමනය කල කවියකි.  කවියා මෙලෙස  අපට අභියෝග කරයි.  


බදාගෙන සඳත් ආයෙම අත්හැරපන් 
පතාගෙන මොකුත් ලැබුවානම් කියපන් 
සදාකල් උනත් බැරි නෑ  නිදි මරපන් 
හදාගෙන ඉඩක් කවි පදයක් ලියපන් 

සදාකල් උනත් බැරි නෑ නිදි මරපන් 
නිදාගත් එවුන් ඇහෙරෙන කවි ලියපන් 
බදාගත් සඳත් රෑ අහසේම තියපන් 
කැකෑරෙන දවල් හැකිනම් සඳ හොයපන් 

                                                     (Pg 64, රෑ  කවියක්)


 නිදා ගත් එවුන් ඇහැරවූ ටිම්රාන් ඔබට ජය!


By Jahooli Devi

Tuesday, October 13, 2015

උත්තර නෑ




පූසට කොච්චර කන්න දුන්නත් 
මීයෝ පස්සෙන් පන්නන්නේ ඇයි?

මී මැස්සෝ හැමදාම පැණි බිව්වත් 
සීනි වැඩි නැත්තේ ඇයි ?   

සලඹයා කොච්චර ලස්සන උනත්
සමනළයා විතරක් ජනප්‍රිය ඇයි ? 

කුරුල්ලෝ ත්  සින්දු කියනවනම් 
සුපර් ස්ටාර් යන්නේ නැත්තේ ඇයි ?


By Jahooli Devi