Monday, February 23, 2015

ඉඹීම යනු ඉඹීම ම නොවේ! To Kiss is not all about kissing

Advertisement


« To kiss in a public place is a legal offense » ai-je lu à l’entrée du jardin municipal, derrière l’église, Une seule fois, sous le slogan commercial de l’île « Every time is tea
time » charbonné par un désœuvré qui attendait le bon vouloir d’une vessie paresseuse, j’ai relevé, ajoutée à la craie par une main dépitée « …and no time ever fucking time »
(Poisson Scorpion, Nicolas Bouvier, 1981, p.78 )

ඉඹීම අද ලංකාවේ විලාසිතාවක් බවට පත් වෙමින් තිබේ. එහි "හොඳ නරක විමසීම" හෝ "එය ගැන කතා කිරීම" මගේ අරමුණ නොවේ. ඉඹීම විවිධාකාරය, ලෝකය බොහෝ කලක සිට ගෝලාකාරය. අද ෆේස් බුකියට එන ලංකාවේ කෙල්ලො කොල්ලො හාදු වරුසා වපුරවති. හග්ස්, බිග් හග්ස් යනුවෙන් හාදු රූප භාවිතා කරමින් ඔවුනොවූන් එකිනෙකාට ආචාර කරගන්නේ නියම සුද්දන් මෙනි. එහි කිසිත් ප්‍රශ්නයක් නැත. මට ප්‍රශ්නය තිබෙන්නේ සැබෑ ජීවිතයේ දීය. කිසි දිනක දැක නැති වුන්ට මූණ පූරා හාදු දීමට මා බොහොම අකමැතිය. නමුත් , ප්‍රසිද්ධියේ සිප ගැනීම තහනම් රටක පෙම්වතාට හග්ස්, ෆ්‍රෙන්ච් කිසස් දීමට මා බෙහිවින්ම රුචිය. මට රුචි නොවන්නේ ගහක් ගලක් ගානේ හන්දියක් ගානේ සිටින උන්ට හාදු දීමය.

මම ප්‍රංශයේ සිටි කාලයේ විශ්ව විද්යාලයේදී ද සිදු වූයේ ඔය ටිකමය. ප්‍රංශ කෙල්ලන් මා දුටු පළමු දින බොන්ජූර් කියා චූස් චූස් ගග මූණ දෙපැත්තට හාදු දී පිලිගත්තත් එදනින් පසු චූස් චූස් ගෑමට මා අනු බල නොදීමෙන් කෙල වූයේ මටය.  මන්ද යත් යහලුවන් ප්‍රමාණය අඩු වීමය. උන් හිතන්නට ඇත්තේ මං මිතුරු වීමට ඇකැමති බවක්ය. ඇත්තටම මට තිබුන ප්‍රශ්නය වූයේ උන් මුහුණ කට හෝදා විශ්ව විද්යාලයට පැමිණේදැයි චකිතයකි. සමහරුන් ලඟ සිගරට් ගඳ, බියර් ගඳ වැඩි නිසා, මම උන් ඉම්ඹේ හුස්ම තද කරගනිමිනි. අනිත් අතට , සමහර සුද්දියෝ මා මඟ හරින්නට ඇත්තේ, මගේ දුඹුරු පාට හම නිසා හෝ මා දුටු විට ඔවුන්ට මතක් වෙන එකම දෙය ස්ලම් ඩෝග් මිල්යනාර් ෆිල්ම් එකේ ඉන්දියාවේ මුඩුක්කුවක් කෙල්ල පමණක් නිසාවෙනි. සුද්දන්ට නම් කෝකත් එකය, කොටින්ම අත ඇල්ලීමද මහත් භාග්‍යයකි! සමර නාකි සුද්දන් ගුඩ් නයිට් කියා කම්මුල් ඉඹීමේ දී බොහෝ විට කාන්තාවන්ගේ තොල් දෙකොණ ඉලක්ක කරන්නේ, හතලිස් ඇඳිරිය නිසා ද, හරිය ට ඉලක්කය ගත නොහැකි නිසාද යයි මට පැහැදිලි නැත.




ප්‍රංශ ක්‍රමයට ආචාර කිරීම ප්‍රංශයේ දී හොඳය. එය ඔවුන්ගේ ආචාර ක්‍රමය වන අතර ඒ සඳහා මම කිසිදු විරෝධයක් නොදක්වමි.
මට දැන් ප්‍රශ්නය වී ඇත්තේ කොලඹ නිශ්ශබ්ද හාදු දෙන නෝනා මහත්තයාල ගෙනි. මඟුල් ගෙවල් මල ගෙවල් වල මේ මල කෙලිය දැන් ජයටම කෙරෙමින් තිබේ.  මම මෙයට මුලින්ම මුහුණ දුන්නේ අක්කාගෙ දෙවන මනමාලී වීමෙනි. ජීවිතය පුරාවට එකදු හාදුවක් නොදී සිටි ලොකු අක්කාට එදින මට හාදු වරුසාවක් දීමට සිදු වූයේ ඡාය රූප ශිල්පියාගේ අණ කිරීමෙනි. "දැන් ඉඹින්න". කැමරාව මා වෙත එල්ල කල අසුරු සැනින් මහත් වූ සහෝදර ප්‍රේමයෙන් මම අක්කාගේ කම්මුල් සිප ගත්තෙමි. අප කවදාවත් ඊට පෙර හාදු දී තිබුනෙ නැත. වැඩේ බයානක වූයේ කැමරා අය්යා අක්කාගෙ මහත්යාට ද හාදු දීමට මට සහ මල් කුමරියන්ට අණ කිරීමෙනි. අය්යාගේ මුහුණ රතුවී දාඩිය ගලන්නට වූයේ හාදුවල රස්නියට ද??

කොටින්ම එදින, මල් බොකිය දීමේදි, කේක් කැපීමේදි, කේක් බෙදීමේ දි, නාන ප්‍රකාර චාරිත්‍ර කිරීමෙදී මට අසීමිත හාදු තොගයක් දීමට සිදු විය. මට පමණක් නොව පැමිණ සිටි සැවොටම විවාහ යුවලට හාදු දීමට සිදු විය. සමහරු වමින් පටන්ගෙන දකුණට හාදු දෙති, සමහරු දකුණින් පටන් ගෙන වමට හාදු දෙති. සමහරු දෙවරක්ම වමට දෙති, සමහරු දෙවරක්ම දකුණට දෙති. සමහරු මූණ ලාවට ලන්කර දෙති, සමහරු දෙන්නදැයි නොදෙන්න දැයි සිතා ලත වෙති. හැබයි කිසිදු සද්දයක් නම් නැත. මේවා සියල්ලම නිශ්ශබ්ද හාදුය.

මෙසේ එලිපිට ආසාවෙන් හාදු දෙන අම්මලා නැන්දල සහ ආච්චි අම්මලා, කොලඹ විහාර මහා දේවි පාර්ක් එකේ කෙල්ලෙක් කොල්ලෙක් අත් වැල් පටලාගෙන හාදුවක් දීමට ලන් වෙද්දී හත්වලාමේ මේකුන්ට විලි ලජ්ජා නැත්දැ යි අහන්නේ ඉතා සීලවන්ත භාවයෙනි. ලංකාවේ චිත්‍රපටිවලද, සිප ගන්නේ කම්මුල් පමණය. ඉතුරු ටික අපි නොදනී. එක්කෝ බඹරෙක් මලින් රොන් ගනියි, නැත්තම් වීදුරු බිඳෙයි. මේවා බලා සැබෑ ජීවිතයේදී ත් කල යුත්තේ මංගල රාත්‍රියේ දී ද වීදුරු බිඳීමය! ප්‍රසිද්ධ ස්ථාන වල සිප ගත හොත් අප හත් මුතු පරම්පරාවේම මූණුවල දැලි ගෑවී හැඳි ගෑවී , අප සනුහරෙම හිරි ඔතප් බිඳී යන බව නොසැකය. කම්මුලත් තොලත් අතර ඇති සංස්කෘතික දුර නිසා, මොනම හාදුවක් නොදී සිටීම සෞඛයයට හොඳය.

අදටත්, බොරු දත් ඇඳි දාගත් ගෑණු මිනිස්සු කෙල පෙරාගෙන,  ක්ලෙන්ස් කර ටෝන් කර පවුඩර් දමා අමාරුවෙන් හරි ගැස්සූ මගේ මූණ ඉඹින්නට ආදරයෙන් දිව එද්දී මගේ මුලු සර්වාන්ගයම හිරි වැටෙන්නේ ඉහත කී කරුණු නිසා දැයි මට සිතේ.


By Jahooli Devi

http://www.lexpress.fr/actualites/1/culture/sri-lanka-le-president-veut-punir-les-organisateurs-d-un-concert-indecent-d-enrique-iglesias_1748976.html

Sri Lanka: le président veut punir les organisateurs d'un concert "indécent" d'Enrique Iglesias

No comments: